Cricket NewsEXCLUSIVEInternational

ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක් – දුෂ්මන්ත චමීර අද තරගයට

ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක් සිදු කරමින් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශ්‍රී ලකා කණ්ඩායම පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පස්වරු 2.00 ට තරග බිමට පිවිසීමට නියමිතව ඇතැයි වාර්තා වේ. මේ වන විට ලකුණු අතරට පැමිණීමට අ‍පොහොසත් වී සිටින කුසල් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න එහිදී කණ්ඩායමට එක්වීමට නියමිත බව දැනගන්නට ලැබේ.

මෙම තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ තරග 5 න් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී රැස්කළ ලකුණු 78 හැරුණුකොට සෙසු තරග 4 දීම ලකුණු 10 සීමාව පසුකර යෑමට කුසල් අසමත් විය. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 7, 0, 78, 5 සහ 4 ක් ලෙසිනි. අවසන් තරග 4 දීම සෙසු ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සංක අර්ධ ශතක ලබාගත්තද, ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීම සඳහා ඔහුට සහාය දැක්වීමට කුසල්ට ‍නොහැකි විය.

මේ හේතුවෙන් කණ්ඩායම සතුව සිටින අතිරේක ආරම්භක පිතිකරුවා වන දිමුත් කරුණාරත්නට අවස්ථාවක් ලබාදීම කෙරෙහි කණ්ඩායමේ කලමණාකාරත්වයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව බොහෝ දුරට ඇෆ්ඝනිස්ථාන තරගයේදී පැතුම් සමගින් දිමුත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතව ඇතැයි කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මින් පෙර ක්‍රීඩා කළ එංගලන්ත තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් වේග පන්දු යවන්නන් තිදෙ‍නෙක් සහ දඟ පන්දු යවන්නෙක් සමගින් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ලැබේ. එබැවින් ආබාධයකට ලක්ව සංචිතයෙන් ඉවත් වූ ළහිරු කුමාර වෙනුවට සංචිතයට එක්වූ දුෂ්මන්ත චමීර මෙම තරගයට ක්‍රීඩා කීරීම සඳහා සූදානමින් සිටියි.

එ‍සේ වුවහොත් මෙම වසරේ ජූනි මාසයේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති එක්දින තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව චමීර ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගය මෙය වනු ඇත. ඒ අනුව ‍මාස 4 කට පමණ පසුව යළිත් ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන චමීර කෙරෙහි මෙම තරග‍යේදී වැඩි දෙනකුගේ අවධානය යොමුවනු ඇත.

“ඊයෙ තිබුණු පුහුණු සැසියෙදි පන්දු යවනකොට ළහිරුගෙ වම් කකුලේ මාංශ පේෂිවල ආබාධයක් මතුවුණා. එවෙල එයාට පන්දු යවන්න අපහසුතාවක් ඇති වුණා. ඒ නිසා අපි ඊයෙ හවස එයාව ස්කෑන් පරීක්ෂණයකට යොමු කළා. ඒකෙදි දැනගන්න ලැබුණා මාංශ පේෂිවල ඉරීමක් සිදුවෙලා තියෙනවා කියලා. නැවතත් එයා යතා තත්වයට එන්න සති 3 ක් විතර යාවි.”‍ යැයි නවාස් මහතා පැවසීය.

ළහිරු වෙනුවට කණ්ඩායමට කැඳවීමට නියමිත දුෂ්මන්ත චමීර මේ දක්වා එක්දින තරග 44 කදී කඩුලු 50 ක් බිඳහෙළා ඇති අතර එහි සාමාන්‍ය 33.16 ක අගයක් ගනී. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ 2021 වසරේ මැයි මස මීර්පූර්හිදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගැනීමය. ඔහු එක්දින පිටියේදී කඩුලු 5 ක් දවාගෙන ඇති එකම අවස්ථාවද එය වේ.

මේ දක්වා ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර එක්දින ජාත්‍යන්තර තරග 11 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 7 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඇෆ්ඝනිස්ථානය ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි. එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්වී තිබේ. කෙසේ වුවත් අවසන් වරට තරග වැදුණු අවස්ථා 5 න් 4 කදීම ඇෆ්ඝනිස්ථානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

“පහුගිය කාලෙ අපි ඇෆ්ඝනිස්ථානෙ එක්ක තරග කිහිපපයක්ම ක්‍රීඩා කළා. ඒ නිසා කණ්ඩායම් දෙකම එකිනෙකා ගැන හොඳින් දන්නවා. මේ තරගයෙ ජය පැරදුම තීරණය වෙන්නෙ එදා දවසෙදි අපි ක්‍රීඩා කරන විදිය අනුවයි. මේ තණතිල්ලෙ නම් හුඟක් ලකුණු තියෙනවා කියලා මම හිතනවා. අංශ තුනෙන්ම වැරදි අඩු කරගෙන ක්‍රීඩා කළොත් අපිට මේ තරගය ජයගන්න හොඳ අවස්ථාවක් තියෙනවා.” යැයිද නවාස් මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button