Cricket NewsEXCLUSIVEInternational

“අපට සියල්ල කළ හැකියි කියලා අපි හිතන් ඉන්නවා නම්, අපට කළ හැකි කිසිවක් නෑ” – සුපිරි පිතිකරු වීරාට් කෝලී

දකුණු අප්‍රිකානුවන් ලකුණු 07 කින් පරාජය කරමින් විස්සයි-20 ලෝක කුසලානය ජයගැනීමෙන් පසුව විරාට් කෝලි විස්සයි-20 අන්තර්ජාතික තරග බිමෙන් සමුගත්තේය. වසර 17 කට පසුව ඉන්දියාවට දෙවැනි විස්සයි-20 ලෝක කුසලානය දිනාදීම සඳහා අගනා මෙහෙවරක් කළ කෝලි, බාබඩෝස් නුවරදී ලෝක කුසලාන දිනා ගැනීමෙන් මඳ වේලාවකට පසුව තම සමුගැනීමේ තීරණය නිවේදනය කළේය.

“මේ මගේ අවසන් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියයි. අපට ඕනෑ කළේත් මේකමයි” යයි පන්දු 59 කදී ලකුණු 76 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් පසු කෝලි පැවසීය.

“මේක හරිම පුදුම සෙල්ලමක්”

“අද අපි පන්දුවට පහර දෙන්න යද්දිම, මම රෝහිත්ට කිව්වා, සමහර දවස්වලට එක ලකුණක් ලබාගන්තත් බෑ වගේ දැනෙනව. ඒත් මැද්දට ගියා අවශ්‍ය දේ සිද්ධ වෙනවා කියලා…. දෙවියන් ගැන නම් හිතාගන්නත් බෑ.. අපට දුන් දේ පිළිබඳව කෘතඥතාව දක්වමින් මම හිස නමා දෙවියන්ට ආචාර කරනවා”

“ඉතාමත්ම අවශ්‍ය වූ මොහොතේදී කණ්ඩායම වෙනුවෙන් මගේ කාර්යභාරය ඉටු කිරීමට හැකි වීම ගැන මම දෙවියන්ට කෘතඥ වෙනවා” යයි විරාට් කෝලි තරගයෙන් පසුව පැවසීය.

දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේය. රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි දෙදෙනා ආරම්භක පිතිකරුවෝ වූහ. එහෙත් කෝලි – ෂර්මා සම්බන්ධතාව පැවැතියේ පන්දු 10 ක් දක්වා පමණි. ඒ වන විට දෙදෙනා ලකුණු 23 ක් පුවරුවට එකතු කර තිබිණ.

ලකුණු 11 ක් ඇතුළත ඉන්දීය පිතිහරඹයේ බලකණු තුනක් බිම වැටිණ. රෝහිත් ෂර්මා (9), රිෂාබ් පාන්ට් (0) සහ සූර්යකුමාර් යාදව් (3) ආපසු ක්‍රීඩාගාරයේ අසුන්ගනිද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට 34 ක් ලෙසිනි.
කෝලි කෝටුව අතට ගත්තේය. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට තැළුම් කෑමට සිදුවිය. 19 වැනි ඕවරයේදී කෝලි දැවී යාමට පෙර ඉන්දීය ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 කට 163 ක් ලෙසිනි. පන්දු 59  කින් ලකුණු 76 ක් ලබාගත් කෝලිගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය.

“මේ ඉන්දියාව වෙනුවෙන් මා ක්‍රීඩා කළ අවසන් විස්සයි-20 තරගයයි. මා ක්‍රීඩා කිරීමට නියමිතව සිටි අවසන් ලෝක කුසලාන තරගාවලියයි” කෝලි පුවත් පත් සාකච්ඡාවේදී කීවේය.

“මට අවශ්‍ය වුණේ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නයි. මේක තමයි අපේ අරමුණ. අපිට ඕන වුණේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරඟාවලියක් දිනන්න… කුසලානය උස්සන්න”

“කොහොම වුණත්, මම මගේ හිස පහතට දාලා, පවතින තත්වය වටහාගෙන, ඒකට අනුගත වෙන්න උත්සාහ කළා මිසක් කිසිවක් බලෙන් කරන්න ගියේ නෑ….මම කළේ කණ්ඩායම මගෙන් බලාපොරොත්තු වෙච්ච දේ කිරීමයි” යයි කෝලි තරගයෙන් පසුව වැඩිදුරටත් පැවසීය.

කෝලි කීවේ අවසන් තරගය පරාජය වූවත් තමන් විස්සයි-20 අන්තර්ජාතික තරග වලින් සමුගන්නා බවයි.
“ඒක ප්‍රසිද්ධ රහසක්”

“මේ මගේ අවසන් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය බව කණ්ඩායමේ අය දැනගෙන හිටියා. දැන් ඉතින් ඊළඟ පරම්පරාව මේ වගකීම බාරගන්න ඕනේ” යයි සමුගැනීම ස්ථිර ද යන්න කළ විමසීමකදී කෝලි කියා සිටියේය.

හරියටම වසර 10 කට ඉහතදී, බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයේදීත් කෝලි පන්දු 58 කින් ලකුණු 77 ක් ලබාගත්තේය. එහෙත් එදා කුමාර් සංගක්කාර (නොදැවී 52), මහේල ජයවර්ධන (24), තිසර පෙරේරා (නොදැවී 23) සහ තිලකරත්න ඩිල්ෂාන් (18) වැනි පිතිකරුවන් සමග සිටි ලසිත් මාලිංග, නුවන් කුලසේකර හා රංගන හේරත් වැනි පන්දු යවන්නන් හමුවේ පරාජිත කණ්ඩායමත් සමගින් පසුබැසීමට කෝලිට සිදුවිය.

වසර 2010 දී සිම්බාබ්වේ පිලට එරෙහිව මංගල විස්සයි-20 තරගයට පිළිපන් කෝලි, එදා මෙදා තුර විස්සයි-20 අන්තර්ජාතික තරග 125 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 4188 කි. හොඳම ඉනිම (2022 දී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව) නොදැවී ලකුණු 122 කි.

ඉන්දියාව ලෝක කුසලානයක් දිනාගත්තේ වසර 2011 දී ශ්‍රී ලංකාව පරාජය කරමින් එක්දින ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුවය. වසර 13 කට පසුව වූවත්, මේ කෝලිගේ පළමු වැනි ලෝක කුසලානයයි. තවත් දින කිහිපයක් ගතවන තෙක්, ලෝක කුසලාන දිනාගත් කණඩායමක සාමාජිකයකු වීමේ උද්දාමයෙන් නිදහස් වීමට කෝලිට නොහැකි වනු නිසැකය.

එසේ වුවත් කෝලිට අනෙක් ක්‍රීඩකයන් පිළිබඳව ද සාධාරණ හැඟීමක් තිබේ.
“අපි යම් යම් දේවල් ලබාගන්න ගොඩාක් කල් බලාගෙන ඉන්නවා”

“මම විතරක් නෙවෙයි…, රෝහිත් ෂර්මා දිහා බලන්න. එයා විස්සයි-20 ලෝක කුසලාන නවයක් ක්‍රීඩා කරලා තියෙනවා. මේක මගේ හයවෙනි එක”

“ඒ හින්දා මේ ලෝක කුසලානය මට විතරක් නෙමේ කණ්ඩායමේ අනෙක් අයටත් හරිම වැදගත්.. අපි අපේ වැඬේ කළා. අපේ රාජකාරිය කළා. තරගයෙන් පස්සේ ඇතිවුණ හැඟීම විස්තර කරන්න අමාරුයි” යයි කී කෝලි….

“අන්තිම වතාවට ක්‍රීඩා කරපු තරග කිහිපයේදීම මම එච්චර හොඳින් ක්‍රීඩා කළේ නෑ. (පිටිය) මැද්දෙදි වුණත් මට එච්චර හොඳ හැඟීමක් තිබුණෙත් නෑ… ඒත් දෙවියන් ඔබට ආශිර්වාද කරන්නේ හිතාගන්නත් බැරි විදිහට” යයි ද කෝලි කීවේය.

කෝලි ඔහුගේ තරඟ 125 ක විස්සයි-20 අන්තර්ජාතික දිවිය අවසන් කළේ ඉන්දියාවේ දෙවන වැඩිම ලකුණු ලාභියා ලෙසිනි. කෝලිට ඉදිරියෙන් සිටින්නේ නායක රෝහිත් ෂර්මා පමණි.

කෝලි කියන දේ සැබෑවකි. ඇත්ත වශයෙන්ම ක්‍රිකට් මහා පුදුමාකාර ක්‍රීඩාවකි.

2024 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්වාම, ඉනිම 7 කදී කෝලි ලබාගත්තේ ලකුණු 75 ක් පමණි. ඒත් අවසන් මහ තරගයේදී කෝලි පන්දු 59 කින් ලකුණු 76 ක් ලබාගත්තේය. තරගයේ වීරයා වීමෙන් පසුව විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

2014 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්වාම ඉනිම 4 කදී කුමාර් සංගක්කාර ලබාගත්තේ ලකුණු 19 ක් පමණි. ඒත් අවසන් මහ තරගයේදී සංගක්කාර පන්දු 35 කින් නොදැවී ලකුණු 52 ක් ලබාගත්තේය. තරගයේ වීරයා වීමෙන් පසුව විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

අවසන් මහ තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කෝලි සිය හදවත විවෘත කළේය.

“ඇත්තම කියනවා නම්, මේක මට සිහිනෙන්වත් සිතාගන්න බැරි දෙයක්” යයි මෙම තරගවලියේදී තමන් ආ ගමන ගැන සිහිකරමින් කෝලි ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ වෙත කියා සිටියේය.

“මේක මට ලොකු පාඩමක්. මේ ක්‍රීඩාවෙන් මම විශාල පාඩමක් ඉගෙන ගත්තා”
“අපි අපේ හිස් පහත හෙළාගෙන අහංකාරය පැත්තකට දමන්න ඕනා. අපට සියල්ල කළ හැකියි කියලා සිතන්නේ නම්, විශේෂයෙන්ම ආශ්චර්යවත් දේ කළ හැකි යයි සිතන්නේ නම්, අපට කළ හැකි කිසිවක් නෑ”
“අපි ඕනෑවට වඩා වේගනේ ඉදිරියට ගියොත්, අපව පස්සට ඇදලා දාලා, අපට නියමිත ස්ථානයේ තබන බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන්නා”

“අද මට වෙනස් බවක් දැනුණා…. මා වඩාත් තැන්පත් වුණා. ඇත්තම කිව්වොත්, මම පවතින තත්ත්වයට අනුගත වෙලායි හිටියේ… මම හිතුවේ එක දෙයයි.”

“මම ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. ලෝක කුසලානයක් දිනාගැනීම වෙනුවෙන් අවශ්‍ය දස්කම් දක්වන තුරු, මිනිස්සු මා දිහා බලා සිටිනවා”

“අපි පන්දුවට පහර දෙන්න යන්න ඉස්සරවෙලා රෝහිත් සහ මම ඒ වගේ දේවල් ගැන හුඟාක් කතා කළා. මේ ආකෘතියේ ලෝක කුසලානයක් අපි දිනන්න ඕනේ යයි අපි සාකච්ඡා කළා..”

“ඇත්තටම සිදුවෙච්ච දේවල් අපට සිහිනෙකින්වත් හිතාගන්න බෑ” කෝලි කීවේය.

ලකුණු 177 ක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකානුවන්ට තරගය ජයගැනීම සඳහා අවසන් පන්දු 30 න් අවශ්‍ය වූයේ ලකුණු 30 කි. කඩුලු 6 ක් අතැතිව තිබිණ. ඉතිරි පන්දු 30 ඇතුළත ලකුණු 22 කට කඩුලු 4 ක් ඇද වැටිණ. ඉන්දියානුවෝ තරගය ජයගත්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button