ශ්රි ලංකා එක්දින සංචිතයට කුසල් පෙරේරා ඇතුලත් කරයි
සංචාරක නවසීලන්ත ක්රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය සඳහා ප්රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ.
උපුල් තරංගගේ ප්රධානත්වයෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි20 සහ එක්දින තරගාවලි සඳහා නම් කළ සංචිත ඊයේ නිල වශයෙන් නිවේදනය කළ අතර, මේ සංචිත ද්විත්වයේම නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරයි.
34 හැවිරිදි කුසල් පෙරේරා එක්දින සංචිතයට කැඳවා ඇත්තේ වසරකට පසුවය. පසුගිය වසරේ නොවැම්බර් මස 9 වැනිදා නවසීලන්තයටම එරෙහිව ඔහු අවසන් වරට එක්දින තරගයක් ක්රීඩා කළේය. එම තරගය ලෝක කුසලාන තරගාවලිය යටතේ බැංගලෝර්හිදී පැවැත්විණි. එක්දින තරග 116ක් ක්රීඩා කර ඇති කුසල් ජනිත් ශතක 6ක් සහ අර්ධ ශතක 17ක් සමඟ ලකුණු 3237ක් රැස් කර තිබේ. පසුගිය අගෝස්තු මස ඉන්දියාවට එරෙහිව ජගත් මංගල එක්දින තරගය ක්රීඩා කළ වේග පන්දු යවන 29 හැවිරිදි මොහොමඩ් සිරාස් මේ සංචිතයටත් ඇතුළත්ව සිටී. ඔහු නවසීලන්තයට එරෙහි සංචිතයට එක්ව සිටියත් ක්රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණි.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නිමා වූ විස්සයි20 තරගාවලියට නම් කර සිටි ක්රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විත සංචිතයම නවසීලන්තයට එරෙහි තරගාවලියටත් එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.