Cricket NewsEXCLUSIVE

මහේල ජයවර්ධනගේ සහ ලසිත් මාලිංගගේ ක්‍රිකට් දැනුමින් සහ පුහුණුවෙන් සවිමත් වී ලෝක කුසලානයට යන අපේ සිංහයෝ.!

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත පුහුණු කඳවුර සඳහා මහේල ජයවර්ධනගේ සහ ලසිත් මාලිංගගේ සහායද ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා තහවුරු කර තිබෙනවා.

දින 6 කින් සමන්විත මෙම පුහුණු කඳවුර නිමා වීමෙන් පසුව සංචාරය සඳහා සූදානමින් වීමට ක්‍රීඩකයන්ට ඔක්තෝබර් මස 1 වැනිදා විවේකයක් හිමිවන බවද, ඉන් පසු දින එනම් ඔක්තෝබර් 2 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇති බවද ඈෂ්ලි මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ඉකුත් 13 වැනිදා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, කෙටි විවේකයකින් අනතුරුව කණ්ඩායමක් ලෙස යළිත් පුහුණුවීම් ආරම්භ කරන පළමු අවස්ථාවද මෙය වනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඉකුත් 16 වැනිදා නිල වශයෙන් නිවේදනය කෙරිණ. අතිරේක ක්‍රීඩකයන් ලෙස ඊට ඇතුළත්ව සිටින අෂේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රමද කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාව බලා පිටත්වයනු ඇතැයිද එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා, දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා සහ සෙසු පුහුණු කාර්යය මණ්ඩලයද සහභාගි වනු ඇත.

මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7 කදී පැවැත්වෙන අතර ඊට රටවල් 16 ක් සහභාගි වීමට නියමිතය. ඉන් රටවල් 8 ක් කල්තියාම සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටින අතර ශ්‍රී ලංකාවට සුපිරි වටයට සුදුසුකම් ලැබීමට සඳහා මූලික වටයේදී තරග වදින කාණ්ඩයේ පළමු හෝ දෙවැනි ස්ථාන දිනාගත යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7