ශ්‍රී ලංකා කාන්තා 19 පිලේ නායකත්වය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාරට
දෙසැම්බර් 15 වැනිදා සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මැලේසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා 19 පිලේ නායකත්වය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාර වෙත පැවරී තිබේ. මෙම කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ හත් දෙනෙක් එක්ව සිටිති.
ආසියානු ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මේ මස 15 වැනිදා සිට මැලේසියාවේ ක්වාලාලම්පූර්හි බයුමාස් ඕවල් පිටියේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ජාතික කාන්තා 20-20 පිලේ ළාබාලතම ක්රීඩිකාවන වන 16 හැවිරිදි ශෂිනි ගිම්හානි සමගින් හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, රශ්මි නේත්‍රාංජලී, සංජනා කාවින්දි, ෂෙහාරා ඉඳුවරි සහ නෙතඟි
ඉසුරාංජලී (සංචාරක අතිරේක ක්‍රීඩිකාව) යන ක්‍රීඩිකාවන් 7 දෙනෙක් රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා පිලට එක්ව සිටිති. එමෙන්ම කොළඹින් දුර බැහැර මොණරාගල කුඹුක්කන, අම්පාර උහන, ත්‍රිකුණාමලය, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රදේශ නියෝජනය කරමින් ද ක්‍රීඩිකාවෝ මෙම ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් පිලට එක්ව සිටිති.
විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියට ආසියානු කලාපයේ කණ්ඩායම් 6ක් පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ තරග වැදීමට නියමිතය.
පළමු වටයේදී ඉන්දීය කාන්තා 19න් පහළ පිල, පකිස්තාන කාන්තා 19න් පිහළ පිල සහ නේපාල කාන්තා 19න් පහළ පිල ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ පිල, බංගලාදේශ කාන්තා 19න් පහළ පිල සහ මැලේසියා කාන්තා 19න් පහළ පිල ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිති.
ප්‍රසාද ලකුණු සටහනට අනුව කාණ්ඩ 2 න් කණ්ඩායම් 2 ක් බැගින් කණ්ඩායම් 4ක් සුපිරි 4 වටයට සුදුසුකම් ලබති. සුපිරි 4 වටයේදී සෑම කණ්ඩායමක්ම පළමු වටයේ අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් 2 සමගින් තරග 2කට සහභාගී වනු ඇත. එහිදී දස්කම් දක්වන කණ්ඩායම් 2 අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
අවසන් මහා තරගය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වේ.