Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශය සමග තෙවන තරගයේදි රූපවාහිනී විනිසුරු සහාය නොපැතූ පැතුම්ගේ නොදැවුණු දැවීයෑමේ වරද අවිශ්කගේ ද?

බංග්ලාදේශය සමඟ වසර 22ක එක්දින තරගාවලි ඉතිහාසයේදී ශ්‍රී ලංකාව තරගාවලියක් පරාජයට පත් වූ දෙවැනි අවස්ථාව ලෙසත්, මේ වසරේදී ශ්‍රී ලංකා පිල පරාජය වූ පළමු එක්දින තරගාවලිය ලෙසත් වාර්තා පොතට එක්වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වැනි එක්දින තරගයේදී පැතුම් නිශ්ශංකගේ දැවී යෑම ආන්දෝලනයකට තුඩුදුන් අතර, ශ්‍රී ලංකා පිලේ පරාජයේ තීරණාත්මක සාධකයක් බවට ද පත් විය.

ශ්‍රී ලංකා ඉනිමේදී ටස්කින් අහමඩ් විසින් යවන ලද දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට පැතුම් කඩුල්ල මුවා කළ බවට බංග්ලාදේශ ක්‍රීඩකයන් කළ ඉල්ලීම විනිසුරු අනුමත කළ අතර, එම පන්දුව ඔහුගේ පා ඉන්නට පිටතින් ඉවතට ඇදී යන පන්දුවක් බව රූපවාහිනී පුනරූපණ මඟින් තහවුරු විය. විස්තර විචාරකයන් සහ හිටපු ක්‍රීඩකයන් විමතියට පත්වූයේ ඒ මොහොතේ ශ්‍රී ලංකා පිල සතුව විනිසුරු තීරණ අභියෝගයට ලක් කරන රූපවාහිනී විනිසුරුගේ තීරණය ඉල්ලීමේ අවස්ථා දෙකම ඉතිරිව තිබියදීත් පැතුම් නිශ්ශංක එම අවස්ථාව ඉල්ලා නොසිටීම ගැනය.

ඇෆ්ගනිස්තාන පිලේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයේ පළමු තරගයේදීම නොදැවී ලකුණු 210ක් රැස් කරමින් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය රැස් කිරීමේ වාර්තාවට හිමිකම් කී 25 හැවිරිදි මේ දකුණත් පිතිකරුවා පෙරේදා තරගයේදී ආන්දෝලනයකට තුඩු දුන් දැවීයෑමට හසුවූයේ මේ වසරේ ක්‍රීඩා කළ තරග 6කදී ද්විත්ව ශතකයක් සහ ශතක 2ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම පිතිහරඹ තුරුම්පුව බවට පත්ව සිටියදීය.

පැතුම්ගේ පා ආවරණයේ ගැටුණු ටස්කින් අහමඩ්ගේ පන්දුව පිට ඉන්නෙන් ඉවතට ඇදී යන පන්දුවක් බව හොඳින්ම නිරීක්ෂණ වන්නේ ඒ මොහොතේ අනික් අන්තයේ සිටි අවිශ්ක ප්‍රනාන්දුට බවත්, රූපවාහිනී විනිසුරුගේ සහාය ඉල්ලා සිටීමට පැතුම්ට උපදෙස් ලබා දිය යුතුව තිබුණේ අවිශ්ක බවත් විස්තර විචාරකයන්ගේ අදහස විය. ඒ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු උදාසීන හා ඇල්මැරුණු හැසිරීමක් පෙන්නුම් කළ අතර, හිස පහළට නැඹුරු කරගත් පැතුම් නිශ්ශංක වැරදි තීරණයක් මත පිටියෙන් ඉවතට ගියේය. ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිකරුවා එක් ලකුණක් ලබා සිටියදී එවැනි මතභේදයට තුඩු දෙන දැවී යෑමකින් ආපසු ක්‍රීඩාගාරයට හැරී යෑම පසුව ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමට ද හේතු විය.

ඊට පෙර ශ්‍රී ලංකා පිල ජයගත් දෙවැනි තරගයේදීත් මුල් භාගයේ පැතුම් නිශ්ශංක කඩුලු රකින්නා වෙත උඩපන්දුවක් ලබා දුන් බවට බංග්ලාදේශ ක්‍රීඩකයන් කළ ඉල්ලීම විනිසුරු අනුමත කළ ද, රූපවාහිනී විනිසුරුගේ සහාය ඉල්ලමින් තමා නොදැවුණු පිතිකරුවකු ලෙස තහවුරු කරගත් පැතුම් තවදුරටත් පිටියේ රැඳී සිටීමට සමත් වූ අතර, අවසානයේදී ලකුණු 114ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලට තරගය ජය ගැනීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
3
+1
1
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7