Cricket NewsEXCLUSIVEIPLPremier League

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පිට පිටම තෙවැනි පරාජයත් ලබයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (1 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස්  කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී මුම්බායි කණ්ඩායම පිට පිටම ලැබූ තෙවැනි පරාජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායම ඕවර 15.3 ක් අවසානයේ  කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. වේගවත් පිතිහරඹයක නිරත වූ රියාන් පරාග් පන්දු 39 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමට යුස්වේන්ද්‍ර චාහල් සහ ටේ‍රන්ට් බෝල්ට් ප්‍රමුඛ රාජස්ථාන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි. එහිදී චාහල් ලකුණු 11 කට කඩුලු 3 ක්ද, බෝල්ට් ලකුණු 22 කට කඩුලු 3 ක්ද බිඳහෙළුෑහ.

මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 21 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 34 ක් රැස්කළ අතර තිලක් වර්මා පන්දු 29 කින් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි. කෙසේ වුවත් රෝහිත් ශර්මා, නාමන් ධීර් සහ ඩෙවෝල්ඩ් බ්‍රේවිස් මුහුණදුන් පළමු පන්දුවලදීම දැවී යෑම මුම්බායි කණ්ඩායමට විශාල පාඩුවක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button