Cricket NewsEXCLUSIVEInternational

කුසල් මෙන්ඩිස්ගෙ එක්දින නායකත්වයත් චරිත් අසලංකටම දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස විස්සයි20 නායක චරිත් අසලංක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන සංචිතය නිල වශයෙන් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව ප්‍රකාශ කර තිබිණි.

මෙතෙක් එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කළ අතර, ඔහුගේ නායකත්වයේ යටතේ තරග 18ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඉන් තරග 8ක් ජය ගනිද්දී තරග 7ක් පරාජයට පත්ව තිබේ.

කෙසේ වෙතත් චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයේ ස්ථානයක් වෙන් කර ගැනීමට කුසල් මෙන්ඩිස්ට හැකිව තිබේ.

එක්දින සංචිතය සඳහා පළමු වරට කඩුලු රකින පිතිකරු 24 හැවිරිදි නිශාන් මධුෂ්ක කැඳවා ඇති අතර, මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන මධුෂ්ක තරග 7කදී ලකුණු 336ක් රැස් කර ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟිනි. පසුගිය වසරේ ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු ‘ඒ’ කාණ්ඩයේ තරග 65ක් ක්‍රීඩා කරමින් ශතක 5ක් සහ අර්ධ ශතක 13ක් සමඟ ලකුණු 2310ක් රැස් කිරීමට සමත්ව ඇත.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද මේ සංචිතයට කැඳවා ඇති අතර, ඔහු ශ්‍රී ලංකා පිල අවසන් වරට ක්‍රීඩා කළ බංග්ලාදේශයට එරෙහි එක්දින සංචිතයට ඇතුළත්ව සිටියද ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවිණි. ඔහු අවසන් වරට පසුගිය වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියට එක් විය. එක්දින තරග 26ක් ක්‍රීඩා කරමින් ලකුණු 451ක් රැස් කර ඇති චාමික කඩුලු 24ක් බිඳ දැමීමට සමත්ව සිටි.

මේ අතර බංග්ලාදේශයට එරෙහිව එක්දින සංචිතයට ඇතුළත්ව සිටි සහන් ආරච්චිගේ, ළහිරු කුමාර සහ ප්‍රමෝද් මදුෂාන්ට ස්ථාන අහිමිව ඇති අතර, වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.

අවසන් වරට පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ මතීෂ එක්දින තරග 12කදී කඩුලු 17ක් දවාගෙන තිබේ. එක්දින තරග 7කට ක්‍රීඩා කර අසිත ප්‍රනාන්දු අවසන් වරට මේ වසරේ පෙබරවාරි මස පල්ලෙකැලේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව එක්දින තරගයකට එක් විය.

ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරගාවලිය ලබන මස 2, 4 සහ 7 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මධුෂ්ක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, ඩිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button