Cricket NewsEXCLUSIVEInternational

නුවනිඳු ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල ආසියානු කුසලාන තරගාවලියට යයි

ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද (15 වැනිදා) ඕමානය බලා දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය මෙම මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වේ.

රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙන අතර එම කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු කණ්ඩායම් වන්නේ ඇෆ්ඝනිස්ථාන ‘ඒ’, බංග්ලාදේශ ‘ඒ’ සහ හොං කොං රාජ්‍යයයි. ඉන්දීය ‘ඒ’, පාකිස්තාන ‘ඒ’, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දුට හිමිව ඇති අතර ඔහු හැරුණුකොට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සහන් ආරච්චිගේ, රමේෂ් මෙන්ඩිස් සහ දුෂාන් හේමන්තද මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයන් අතරින් ළහිරු උදාර, ලසිත් කෲස්පුල්ලේ සහ නිමේෂ් විමුක්ති ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම නියෝජනය කරමින් එක් ජාත්‍යන්තර තරගයකට බැගින් ක්‍රීඩා කර තිබේ. මින් පෙර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය දරා ඇති නමුත් තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති පවන් රත්නායකද මෙම සංචිතයට ඇතුළත්ව සිටියි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගි වන පළමු තරගය එළබෙන 18 වැනිදා ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අතර දෙවැන්න 20 වැනිදා හොංකොං රාජ්‍යයට එරෙහිවද, තෙවැන්න 22 වැනිදා බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත.

මූලික වටය අවසානයේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එහිදී ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා ‘බී’ කාණ්ඩයේ දෙවැනියාට එරෙහිවද, ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියාට එරෙහිවද තරග වදිනු ඇත.

තරගාවලියේ අවසන් පූර්ව තරග මෙම මස 25 වැනිදා පස්වරුවේදී සහ රාත්‍රියේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය 27 වැනිදා රාත්‍රියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය
නුවනිඳු ප්‍රනාන්දු (නායක), ළහිරු උදාර, යශෝධ ලංකා, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, දිනුර කළුපහණ, කවිඳු නදීෂාන්, රමේෂ් මෙන්ඩිස්, දුෂාන් හේමන්ත, නිමේෂ් විමුක්ති, නිපුන් රන්සික, ඉසිත විජේසුන්දර සහ ඒෂාන් මාලිංග 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button