Cricket NewsEXCLUSIVEInternational

විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා නවසීලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායම ලබන මස 4 වැනිදා ශ්‍රී ලංකාවට

විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා නවසීලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායම ලබන මස 4 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

විස්සයි20 තරග 2ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් මේ සංචාරය සඳහා 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නවසීලන්තය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති අතර, ප්‍රබල ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වමින් නම් කර ඇති මේ සංචිතයේ නායකත්වය දඟ පන්දු යවන 32 හැවිරිදි මිචෙල් සැන්ට්නර්ට පවරා තිබේ. නිත්‍ය නායක කේන් විලියම්සන් මේ වසර මුලදී ඉල්ලා අස්වීම හේතුවෙන් තාවකාලික පත්වීමක් ලෙස සැන්ට්නර් නායකත්වයට පත්කර ඇත. 26 හැවිරිදි පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩක නේතන් ස්මිත් සහ 24 හැවිරිදි කඩුලු රකින ක්‍රීඩක මිචෙල් හේ පළමු වරට ජාතික සංචිතයට කැඳවා තිබේ.

ප්‍රබල ක්‍රීඩකයන් වන කේන් විලියම්සන්, ටොම් ලේතම්, ටොම් බ්ලන්ඩල්, ඩෙවෝන් කොන්වේ, ඩැරල් මිචෙල්, රචින් රවින්ද්‍ර, ටිම් සවුති සහ විල් ඕ’රූක් විවේක ගන්වා ඇත්තේ අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ලබන මස 28 වැනිදා සිට එංගලන්තයට එරෙහිව නවසීලන්තයේදී පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සූදානම් වීමේ අරමුණිනි. මේ දිනවල ඉන්දියාවේදී තරගාවලියකට එක්ව සිටින නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනකු මේ සංචිතයට ඇතුළත්ව ඇති අතර, ඔවුන් මුම්බාහිදී තෙවැනි ටෙස්ට් තරගය නිමාවීමෙන් අනතුරුව කෙළින්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

විලියම්සන් නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු නවසීලන්තය එක්වන පළමු සීමිත ඕවර තරගාවලිය මෙය වන අතර, ඔවුන් එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් අනතුරුව වීම කැපී පෙනේ. දෙසැම්බර් 23 වැනිදා නිමා වූ තරග 3කින් සමන්විතව බංග්ලාදේශයට එරෙහිව පැවති එම තරගාවලියේදී නායකයා ලෙස කටයුතු කළේ ටොම් ලේතම්ය.

ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි20 තරගාවලිය නොවැම්බර් 9 සහ 10 දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය දඹුල්ලේදීම පැවැත්වෙන්නේ නොවැම්බර් 13 වැනිදාය. සෙසු තරග දෙක 17 සහ 19 දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට එන නවසීලන්ත සංචිතය – මිචෙල් සැන්ට්නර් (නායක), මයිකල් බ්‍රේස්වෙල්, මාර්ක් චැප්මන්, ජොෂ් ක්ලාක්සන්, ජාකොබ් ඩෆී, ලොකී ෆර්ගියුසන්, සැක් ෆොල්ක්ස්, ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට්, මිචෙල් හේ, හෙන්රි නිකල්ස්, ග්ලෙන් පිලිප්ස්, ටිම් රොබ්සන්, නේතන් ස්මිත්, ඉෂ් සෝදි, විල් යං.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button