අභාධය සුව වුවත් පැතුම්ට දෙවන එක්දින තරගය අහිමි වන ලකුණු !

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (23 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයත් පැතුම් නිස්සංකට අහිමි වන බව තහවුරු කරන ලද ආරංචි මාර්ග වලින් කියැවේ. පාදයේ කලව මස්පිඬුවල ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංකට දින 6 ක් විවේක ගන්නා ලෙස පළමු එක්දින තරගයට පෙර දිනයේ වෛද්‍යවරු උපදෙස් දුන්හ.
ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වයේ මතය වන්නේ පැතුම් නිස්සංක වෙනුවට කණ්ඩායමට එක්වූ නිශාන් මධුෂ්ක හොඳින් ලකුණු අතර සිටින බැවින් මේ අවස්ථාවේදී පතුම් නිස්සංක අවදානමට දැමීම ප්‍රයෝජන රහිත බවයි. පළමු එක්දින තරගයේදී පැතුම් වෙනුවට කණ්ඩායමට එක්වූ නිශාන් මධුෂ්ක ලකුණු 69 ක් ලබාගනිමින් ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය පසුබිම ශ්‍රී ලංකා කණ්ඩායම සකස් කර දුන්නේය. එය නිශාන් මධුෂ්කගේ මංගල එක්දින තරගය ද විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග සැලැස්ම අනුව එක්දින තරගයක් වෙනුවෙන් පැතුම් නිස්සංක පිටියට යැවීම ඉතාමත් අවාසි සහගතය. ඉතිරි එක්දින තරග දෙකේදී කොදෙව් පිලට එරෙහිව ක්‍රීඩා නොකළත් නොවැම්බර් මස දෙවැනි සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන නවසීලන්ත කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරග දෙකක් සහ එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතය. විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා පැතුම් නිස්සංක අවශ්‍යම ක්‍රීඩකයෙකි.
මෙම කරුණු හේතුවෙන් කොදෙව් පිලට එරෙහිව පැවැත්වීමට නියමිත ඉතිරි තරග දෙකේදී, සම්පූර්ණ සුවය ලැබුවොත් මිස, පැතුම් නිස්සංක සමගින් අවදානමකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් නොවනු ඇත.
කෙසේ වෙතත් කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරග 3 අහිම වීම නිස්සංකට තරමක් අවාසිදායක තත්ත්වයක් ද තිබේ.