Cricket NewsEXCLUSIVEPremier LeaguePSL

තරඟකාරී වටපිටාවක් තුලින් පෙරට වඩා ගුණාත්මක බවකින් යුතු ක්‍රීඩක සම්පත් පකිස්තානයට නිර්මාණය කරදෙන “PSL”

විස්සයි විස්ස ආකෘතිය ලොවට හඳුන්වාදීමත් සමඟින් සාම්ප්‍රදායික තරඟ රටාව තුල විශාල නැම්මක් ඇති කලේ මීට වසර ගණනාවකට පෙරය.කෙටි කාල සීමාවක් ඇතුලත ලැබුණු වින්දනය වටා ප්‍රේක්ෂකයින් රොක් වීම විස්සයි විස්ස තරඟ රටාව තවත් ප්‍රචලිත කලේය.මුල්කාලීනව විස්සයි විස්ස ලීග් තරඟ තුලින් විස්සයි විස්ස තරඟ රටාවට සරිලන ක්‍රීඩකයින් සොයා යාමට එකී රටවල ක්‍රිකට් පාලක මණ්ඩලයන් පෙලඹවීය.පසු කාලීනව විස්සයි විස්ස ලීග් තරඟ ලොව වටා ව්‍යාප්ත වීම ක්‍රිකට් ක්‍රීඩාව තුල විශාල අයෝජනයන් බිහිවිය.නමුත් අදටත් විශාල තරඟකාරීත්වයක් තුල,සුපිරි නව්‍ය තාක්ෂණික මෙවලම් ආධාරයෙන් ප්‍රේක්ෂකයින් හට සීමා රහිත විනෝදාස්වාදයක් ලබාදීම ලීග් තරඟ තුල සිදුකෙරේ.

විස්සයි විස්ස තරඟ ප්‍රමුඛ කොට ගනිමින් ජාත්‍යන්තර තලයේ පවා සීමිත පන්දුවාර තරඟ සුලභ වීම තුල ලීග් තරඟ තුලින් බිහිවන ක්‍රීඩක සම්පත් වලට ජාත්‍යන්තර පවා සුවිශේෂී ස්ථානයක් හිමිවීම කැපී පෙනේ.

සමස්ථයක් වශයෙන් ගත් කල පකිස්තානු ප්‍රිමියර් ලීගය ආසියාව තුලට සීමාවී සැලකිය යුතු කාලයක් පසු කලේය.නමුත් වර්ථමාන තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.විශාල ආයෝජනයන් සඳහා අවශ්‍ය අඩිතාලම නිර්මාණය කිරීමට පකිස්තානු ක්‍රිකට් බලධාරීන් සමත් වීමත් ස්වදේශීය සමාගම් තම මව් රටේ ප්‍රධානතම ලීගයට විශාල ආයෝජන කැටුව ඒමත් ආසියාව තුල පමණක් රාවයක් නංවන සුළු වූ පකිස්තානු සුපර් ලීගය වෙනස්ම මානයකට රැගෙන ආවේය.

ලීග් තරඟාවලියකින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට එහි ගුණාත්මක බව විශාල බලපෑමක් එල්ල කරනු ලබයි.පඳුරකට පයින් ගැසූ පසු විසිවීමට තරම් ලීග් තරඟාවලි වර්ථමානයේදී අතිශය බහුල වීම තුල ඒ තුලින් බිහිවන ක්‍රීඩක සම්පත් නිසි පරිදි පන්නරය වීමට නම් තරඟකාරී වටපිටාවක් නිර්මාණය විය යුතුය.තරඟකාරී වටපිටාවක ගුණාත්මක බව බොහෝ දෑ මත නිර්ණය කිරීමට පුළුවනි.

පකිස්තානු සුපර් ලීග තුල ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් සීමිත ගණනක් පමණයි.මෙම කණ්ඩායම් කිහිපය වටා දේශීය පිටියේ හොඳින් දස්කම් දක්වන ක්‍රීඩකයින් හට මනා අත්දැකීමක් හා තම තාක්ෂණය දක්ෂතා හා අනුගත වීම් පෙන්වීමට විශාල තෝතැන්නක් නිර්මාණය කර දී තිබේ.බොහෝ ක්‍රීඩකයින් හට කුළුදුල් ලීග් තරඟාවලි අත්දැකීම ලැබෙනුයේ තම මව්රටෙහි ප්‍රධානතම විස්සයි විස්ස ලීගය තුලිනි.ඒ අතර PSL තරඟාවලියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

එක් සංස්කරණයක් තුලදී ඔවුන් බොහෝ ක්‍රීඩක සම්පත් ප්‍රමාණයක් මෙම තෝතැන්න සඳහා නිරාවරණය කර දෙනු ලබයි.සෑම කණ්ඩායමක්ම පාහේ යොවුන් ක්‍රීඩකයින් හට අවස්ථාව ලබාදෙමින් ඔවුන්ට විවිධ තත්වයන්ට හැඩගැසිය හැකි පරිදි අදේශ කිරීම් සිදු කරනු ලබයි.පිතිකරුවන්ගේ තරඟ රටාවක් තුල පිතිකරණයට වඩාත් උචිත වූ තත්වයන් යටතේ පකිස්තානු ප්‍රිමියර් ලීගය පැවැත්වීම සුළභ දසුනකි.පැතලි පන්දුව හොඳින් පිත්තට පැමිණෙන තණතීරු තුල යොවුන් ක්‍රීඩකයින් තම පිතිකරණ හැකියාව මුවහත් කරගනු ලබයි.සයිම් අයූබ්,මොහොමඩ් හැරිස්,කුශ්දිල් ශා,හයිඩර් අලී වැනි පිතිකරුවන් තමන්ගේ සුහුරු පිතිකරණය හොඳින් මෙම තත්වයන් යටතේ පෙන්නුම් කරමින් සිටී.විශාල පරවල් කරා යෑම,පුළුල් පහරවල් පරාසයන්,පහසු ස්ථානගත කිරීම් ස්ථාවර දිගු ඉනිම් කරා යෑම පිතිකරුවෙකුට පහසු කරනු ලබයි.පකිස්ථානු පිතිකරුවන් මෙවර තරඟාවලිය පුරාවට එසේ තමන්ගේ ලකුණු මළු තරකරගනු ලැබුවේය.

ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් අතරද විශාල තරඟයක් නිර්මාණය වීම කැපී පෙනෙයි.ශාන් මසූඩ්,බාබර් අසාම්,ෆකර් සමාන් හා මොහොමඩ් රිස්වාන් මෙන්ම තවමත් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුනොදුන් 41 හැවරිදි ශොයිබ් මලික් පවා මෙවර තරඟාවලියේ සුපිරි දස්කම් අතරට පිවිසීම පකිස්තානු තේරීම් කමිටුව ඉදිරියේ පවා විශාල ප්‍රශ්නාර්ථයක් ඉතිරි කලේය.

මුල් කාලීනව තරඟාවලියේ ගුණාත්මක භාවය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කල නමුත් පසුකාලීන පකිස්තානු සුපර් ලීගයේ සීඝ්‍ර දියුණුව විශාල කතිකාවතක් නිර්මාණය කලේය.දේශීය ප්‍රේක්ෂක ආකර්ණය ඉහල වීම,ඉහල මට්ටමේ තාක්ෂණය,ගුණාත්මක තණතීරු,තරඟකාරීත්වය මෙන්ම විශාල වශයෙන් ජ්‍යේෂ්ඨ නවක දෙස් විදෙස් ක්‍රීඩක සම්මිශ්‍රණය වීම පකිස්තානු සුපර් ලීගය විශිෂ්ඨ ගණයේ තරඟාවලියක් බවට පත් වෙමින් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button