Cricket NewsEXCLUSIVE

නිවැරදි එල්ලය සහ පතිතය නොතිබූ “ශ්‍රී ලංකා වේග පන්දුවෙන්” නවසිලන්ත නිසි ප්‍රයෝජන ගනී – තරඟයේ වැඩි වාසිය නවසීලන්තයට.!

අරමුණකින් තොරව සිදු කල පන්දු යැවීම නිසා තමන් අත තිබූ වාසිය නවසීලන්තය වෙත වීසිකර දැමූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් කඩුලු 4 තුළදී ලකුණු 185 ක් ලබාගැනීමට නවසීලන්තයේ පසුපෙළ පිතිකරුවන්ට අවසර දුන්හ. අද (11) උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 5 කට ලකුණු 162 ක් පමණක් ලබා සිටි නවසීලන්තයේ හයවැනි කඩුල්ලත් ලකුණු 188 දී බිම දමාගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකිවිය. එහෙත් එතැන් සිට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් කළ කමකට නැති පන්දු යැවීම නිසා නවසීලන්ත පසුපෙළ පිතිකරුවෝ ඕවර 32 කදී ලකුණු 185 ක් ලබාගත්හ.

ක්‍රයිස්ටච්ර්ච් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (11) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටියේය. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් පමණක් අතැතිව, ලකුණු 65 ක් ඉදිරියෙන් සිටී.

ශ්‍රී ලංකා පිලේ සැනසීමට ඇති කාරණා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 20) තවමත් පිටියේ සිටීමත්, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය සිල්වා පිටියට යාමට සූදානමින් සිටීමත් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසිය රඳා ඇත්තේ මෙම පිතිකරුවන් තිදෙනා ලබාගන්නා ලකුණු මතය. නිරෝෂන් දික්වැල්ල වුවද, ටෙස්ට් ශතකයක් ලබාගැනීමේ හැකියාව ඇති පිතිකරුවකු වන නමුත්, ඔහු පන්දුවට පහරදෙන ආකාරය ගැන කිසිම විශ්වාසයක් තබාගත නොහැකිය.

මේ දක්වා ටෙස්ට් තරග 53 ක් ක්‍රීඩා කර ඇති, අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වූවද, දික්වැල්ල තවමත් ටෙස්ට් ශතකයක් ලබාගෙන නැත. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙසින් සටහන් වන්නේ වසර 2021 දී කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාවේදී ලබාගත් ලකුණු 96 යි.

නවසීලන්තය අමාරුවේ වැටී සිටි මොහොතක, ඩැරිල් මිචෙල් ලබාගත් ධෛර්ය සම්පන්න ශතකයත් මැතිව් හෙන්රිගේ ප්‍රචණ්ඩකාරී ලකුණු 72 ක් නිසා නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 373 ක් ලබාගත්තේය. කඩුලු 6 ක් ලකුණු 188 කට බිඳ වැටී තිබූ මොහොතක, මිචෙල් සහ හෙන්රි දෙදෙනාගේ පිතිහරඹයෙන් තරගයේ වාසිය නවසීලන්තය වෙත නැඹුරු විය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී කඩුලු 3 ක් දවාගත් බ්ලෙයාර් ටික්නර්, තරගයේ වාසිය තවදුරටත් නවසීලන්තය වෙතට ඇද දුන්නේය. තරගයේ මුල් දින දෙකේදීම වාසිය අතේ තබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පීඩනයට ලක්ව සිටී.

“නවසීලන්තය මේ වන විට තරගයේ වාසිය එයාලගේ පැත්තට ඇදගෙනයි තියෙන්නේ”
ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවසීය. නවාස් මහතා වැඩිදුරටත් කියා සිටියේ තරගයක් දීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 200 ක් පමණ අවශ්‍ය වන බවයි.

“ඩැරල් මිචෙල් සහ මැතිව් හෙන්රි දෙදෙනාගේ සම්බන්ධතාව නිසා තරගය අපෙන් ගිළිහී ගියා…ඒත් අපි බලාපොරොත්තු අතහැරලා නෑ…”

“අපේ තවත් පිතිකරුවන් දෙදෙනකු පිටියට යන්න ඉන්නවා. ඒ දෙන්නාට වැඩි වේලාවක් පිටියේ ඉඳලා ලකුණු වැඩිපුර ගන්න පුළුවන් වුණොත්, තරගයේ වාසිය ආයෙමත් අපේ පැත්තට ඇදගන්න පුළුවන්” යයි සහාය පුහුණුකරුවා වැඩිදුරටත් පැවසීය.

“මේක පිතිකරුවන්ට හොඳ තණතීරුවක්. ඒත් වේග පන්දු යවන්නන්ටත් තරමක වාසියක් තියෙනවා”

“ඒ නිසා මා හිතන්නේ ලකුණු 275 ක් නැත්නම් 300 ක් විතර තිබුණොත්, ඒක සටනක් දෙන්න හොඳ තත්ත්වයක් වේවි” යයි ද නවීඩ් නවාස් මහතා කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7