පරාජයට හේතුව පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹයයි – සනත් පරාජයට හේතු කියයි

ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු පරාජයක් වැලඳගන්න සිදු වූ බව ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය මහතා පැවසීය. ගාලු තණතිල්ල පිතිකරුවන්ට පන්දුවට පහරදීමට අමාරු එකක් නොවූ බව ඒ මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ පෙරේදා (2) ටෙස්ට් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදීය.
ප්‍රශ්නයවී ඇත්තේ මේ ආකාරයේ ප්‍රකාශයක් මෙයට සති දෙකකට කලින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු පවසා උණුසුම මැකෙන්නටත් පෙර යළිත් එවැන්නක් අසන්නට ලැබීමය. නවසීලන්තයේ පැවති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි20 සහ එක්දින ක්‍රිකට් තරගාවලි දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සංචාරය නිමාවට පත්වීමෙන් පසුව ප්‍රකාශ කළේය. එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයේදී ලකුණු 42කට දැවී ගොස් සංචාරය 2-0ක් ලෙස පරාජයට පත්වෙද්දීද පිතිකරු දුර්වලතා පිළිබඳ ජයසූරිය මහතා කනස්සල්ල පළ කළේය. එයම නැවැත කීමට සිදුවීම හා වැරදි සකස්කර නොතිබීම ජයසූරිය මහතාට ද අපට ද ප්‍රශ්නයකි.
“මේ විකට් එක එහෙම ආමාරු විකට් එකක් නෙමයි. මේ අය පීඩනය යටතේ ක්‍රීඩා තරන්න දැන ගන්න ඕනේ. ටෙස්ට් ක්‍රිකට් එක කියන්නේ යුනික් ගේම් එකක්. මේකේ එක එක අවස්ථාවන් එනවා. ඒ තත්ත්වයන් පාලනය කර ගන්න ක්‍රීඩකයන් දැන ගන්න ඕනේ. අපේ හොඳ පිතිකරණ අනුපිළිවෙළක් තියෙනවා. ඒ නිසා අපි පිළිගන්න ඕනේ අපේ පිතිකරුවන් හොඳින් පන්දුවට පහරදීලා නෑ කියලා. පිතිකරුවන් දැන ගන්න ඕනේ මේව කොහොමද ලොකු ශතකවලට පරිවර්තනය කරගන්නේ කියලා. අමාරු විකට් එකකනම් මට ඇවිල්ල මේ සාකච්ඡාවේදී කියන්න තිබුණා මේක අමාරු විකට් එකක් පන්දු යවන්නන් හොඳට පන්දු යවනවා ඒ නිසා පිතිකරුවන්ට ප්‍රශ්නයක් කියලා. හැබැයි මේ විකට් එක එහෙම භායානක එකක් නොවෙයි. මම හිතනවා දෙවැනි ටෙස්ට් තරගයේදී හොඳ සටනක් දෙයි කියලා” ජයසූරිය මහතා පැවසීය.
“මම හිතන්නේ සමහර ක්‍රීඩකයන් හොඳින් තත්ත්වයන් හසුරුවා ගෙන නැහැ, ඔවුන් පළපුරුදු ක්‍රීඩකයන්, ඔවුන් වඩාත් පරිණත විය යුතුයි. මේ ක්‍රීඩකයන් ගොඩක් ක්‍රිකට් ගහලා තියෙනවා. මම ඒ අය එක්ක මේ ගැන කතා කළා. මොකද අපි කඩුල්ල හැසිරුණු ආකාරය දැක්කා මේක ගොඩක් හොඳ කඩුල්ලක්. ගැටලුව වන්නේ පිතිකරුවන් තම ආරම්භය විශාල ලකුණු බවට පරිවර්තනය නොකිරීමයි” ජයසූරිය මහතා පැවසීය.