Cricket NewsEXCLUSIVEInternational

වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය අද ඇරඹේ

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලාංකේය සංස්කෘතිය ප්‍රදර්ශනය කරමින් වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ කුසලානය එළිදැක්වීම ඊයේ ගාලු ක්‍රීඩාංගණයේදී සිදුවූ අතර, එය ක්‍රිකට් ක්‍රීඩාව හා ශ්‍රී ලාංකේය සංස්කෘතියේ මිශ්‍රණයක් විය.

මේ උත්සවයේදී නාග රක්ෂා, ගුරුළු රක්ෂා, සුරබ වල්ලිය සහ නාරිලතා ඇතුළු සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය වෙස් මුහුණු ප්‍රදර්ශනය කළ අතර, එය ශ්‍රී ලංකාවේ ජනප්‍රවාද සහ සම්ප්‍රදායන් සංකේතවත් වූ සංස්කෘතික හා කලාත්මක සංදර්ශනයක් වූවේය. ඒ අතර දුම්මල ගිනිදැල් සමඟ සාම්ප්‍රදායික බෙර වාදනය ද වැයුණි.

දැනටමත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිස සිටින ඔස්ට්‍රේලියාවට මේ තරගාවලියේ ජයග්‍රහණය එතරම් වැදගත් නැති වුවද ශ්‍රී ලංකාවට ලෝක ශූරතාවලි ලකුණු සටහ‍නේ ඉන්දියාවට ඉහළින් තෙවැනි ස්ථානයට පත්වීම උ‍දෙසා මෙය ඉතා වැදගත් තරගාවලියකි. එබැවින් ශ්‍රී ලංකා පිල ගාලු පිටියේ උපරිම දක්ෂතා අතරට පිවිස ජයග්‍රහණය වෙනු‍වෙන් සියලු තුරුම්පු විසි කරනු ඇති බවට කිසිදු සැකයක් නැත.

ගාලු තණතිල්ල දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බැවින් දෙපිලම දඟ පන්දුව කෙ‍රෙහි වැඩි විශ්වාසයක් තබා ඇත. ඔස්ට්‍රේලියාව විශේෂඥ පන්දු යවන්නන් හතර දෙනකු සමඟ ක්‍රීඩා කිරීමට බොහෝදුරට ඉඩ ඇත. ඉදිරි පෙළ වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ මුල් පෙළේ දඟ පන්දු යවන්නන් කිහිප දෙනකු ගාලු තණතිල්ලේ ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දඟ පන්දු යවන නේතන් ලයන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති අතර, අනෙක් අන්තයෙන් වමත් දඟ පන්දු යවන මැතිව් කූන්මන් දඟ පන්දු ප්‍රහාරය මෙහෙයවනු ඇත.

ට්‍රැවිස් හෙඩ් ආරම්භක පිතිකරු ලෙස උසස්වන හෙයින්, ජොෂ් ඉන්ග්ලිස් ඔහු වෙනුවට ආදේශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. නව යොවුන් පිතිකරු කොන්ස්ටාස් විශාල බලාපොරොත්තුවක් වන අතර, නායක ස්ටීව් ස්මිත් සහ මාර්නස් ලැබුස්චේන් වැනි ක්‍රීඩකයන් පිතිකරණ ලැයිස්තුවේ ප්‍රබලයන් වේ.

ටෙස්ට් තරග 114කට ක්‍රීඩා කළ ස්ට්වි ස්මිත්ට සිය ටෙස්ට් තරග දිවියේ 10,000 වැනි ලකුණ රැස් කිරීමට තවත් එක් ලකුණක් පමණක් අවශ්‍යව ඇති අතර, ගාල්ල ටෙස්ට් තරගයේදී ඔහුට එම කඩඉම පසුකිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ මුල්වරට ටෙස්ට් සංචිතයට නම් කර ඇති අතර, ඔහුට මංගල ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගිය නවසීලන්ත සංචාරයේදී ආබාධයකට ලක්වූ පැතුම් නිස්සංක වෙනුවට පළමු ටෙස්ට් තරගයේදී ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇත. ප්‍රභාත් ජයසූරිය වැඩි කඩුලු ගණනක් දවාගත් මේ තණතිල්ලේ සුපුරුදු රිද්මය අපේක්ෂා කෙරේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නායක ධනංජය ද සිල්වා පැවසුවේ පැතුම් දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට එක්වනු ඇති බවය.

“ඔස්ට්‍රේලියාව සමඟ කලින් පැවති තරගාවලිය සම තත්ත්වයෙන් නිමා වුණා. අපේ හොඳම ක්‍රීඩකයන් මෙවර තරගාවලියේ සිටිනවා. ඒ නිසා මේ තරගාවලිය ජය ගන්න පුළුවන් බවට හොඳ විශ්වාසයක් තියෙනවා. අපිට මේ වසරේ ටෙස්ට් තරග 4ක් පමණයි තියෙන්නේ. ඒ තත්ත්වය කනගාටුයි. අපි ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට සුදුසු රටක් කියා ඔප්පු කොට පෙන්විය යුතුයි. අපි ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට යන්න ආසන්න අවස්ථාවක හිටියා. නමුත් පාකිස්තාන තරගාවලිය පරාජයවීමෙන් පසුපසට ගියා. අංක තුනට එන එකත් ලොකු දෙයක්. මේ ගාලු තණතිල්ල ගොඩක් හොඳ තත්ත්වයේ ති‍යෙනවා” ධනංජය ද සිල්වා පැවසීය.

“ට්‍රැවිස් හෙඩ් ඉදිරියෙන්ම ක්‍රීඩා කරනවා. ඔහු නව පන්දුවෙන් ඉක්මනින් ලකුණු ලබාගෙන පීඩනය එල්ල කළ හැකි ක්‍රීඩකයෙක්. දඟ පන්දු යවන්නන් විශාල බලපෑමක් කිරීමට ඉඩ ඇති නිසා හෙඩ් හොඳ ආරම්භයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ගාලු තණතිල්ල දඟ පන්දුවට ගොඩක් හිතකර බව දන්නවා. අපි ඒ අනුව හැඩ ගැසී ක්‍රීඩා කළ යුතුයි. පසුගිය සංචාරය 1-1ක් ලෙස සම වුණා. මේ අවස්ථාවේ තරගාවලිය ජය ගන්න අපට හොඳ අවස්ථාවක් තියෙනවා” නායක ස්මිත් පැවසීය.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර අවසන් වරට 2022 වසරේ ගාල්ලේ පැවති ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවූ අතර, 2016 පැවති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. 1983 වසරේ සිට ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 33ක් පවත්වා ඇති අතර, එයින් 20ක ජය ඔස්ට්‍රේලියාව හා 5ක ජය ශ්‍රී ලංකාව ලබා ඇත. තරග 8ක් විසඳුමකින් තොරව නිමාවට පත්වූවේය. ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ සහභාගී වූ තරග 18කින් තරග 5ක් පරාජයට පත්ව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය: ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, සොනාල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සේ, නිශාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, මිලාන් රත්නායක.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් සංචිතය: ස්ටීව් ස්මිත් (නායක), සීයන් ඇබොට්, ස්කොට්ලක්ඩ් බෝලන්ඩ්, ඇලෙක්ස් කෙරී, කූපර් කොනොලි, ට්‍රැවීස් හේඩ්, ජොෂ් ඉංග්ලිෂ්, උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මැට් කූනර්මන්, මාර්නස් ලැබුස්චේන්, නේතන් ලයන්, නේතන් මැක්ස්වීනී, මිචෙල් වෙක්ස්වෙනී, බියු වෙබ්ස්ටර්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button