ඉන්දියාව පැරදුනොත් ශ්‍රි ලංකාවට ලෝක ශූරතාවලියේ අවසන් තරග බලාපොරොත්තුවක් තබා ගත හැකියි ?
ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස්ගේ නොදැවුණු ඉනිම් සමඟ බලාපොරොත්තු සහගතව දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය ඇරඹූ ශ්‍රී ලංකා පිලට ලකුණු 33ක් තුළ අවසන් කඩුලු 5 අහිමි වීමෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 109ක පරාජයක් වැලඳ ගැනීමට ඊයේ සිදු විය.
මේ සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර, මේ පරාජය සමඟ අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරග බලාපොරොත්තු සඳහා ඉතා සීමිත අවස්ථාවක් ඇති අතර, ඒ සඳහා සෙසු කණ්ඩායම්වල (දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව) තරග ප්‍රතිඵල ද ශ්‍රී ලංකාවට වාසිදායක විය යුතුය.
ලබන ජනවාරි මාසයේදී ඕස්ටේ්රලියානුවන්ට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ජයගත්තද ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර තරගාවලියේදී තීරණය මත ශ්‍රී ලංකාවේ ස්ථානය රැඳී පවතිනු ඇත.
ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල ඊයේ පිටියට පිවිසියේ කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා සිටියදීය. කෙසේ වෙතත් ඊයේ ඕවර 17.1ක් පමණක් ක්‍රියාත්මක කළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ලකුණු 33ක් තුළ ශ්‍රී ලංකා ඉනිම නිමා කළහ.
ලකුණු 39ක් බැගින් ලබා සිටියදී පිටියට පිවිසි කුසල් සහ ධන ජයගෙන් දිනයේ පළමු කඩුල්ල ලෙස කුසල් පිටියෙන් ඉවත් කිරීමට කේෂව් මහරාජ් සමත් විය. ඔහුට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 7ක් පමණි. මුළු ලකුණු සංඛ්‍යාවට ලකුණු 6ක් එක්වෙද්දී ලකුණු 50ක් රැස් කර සිටි නායක ධනංජය පිටියෙන් ඉවත් කිරීමට කගීසෝ රබාඩා සමත් වූ අතර, යළි ක්‍රියාත්මක වූ මහරාජ් ලකුණු 5ක් තුළ ප්‍රභාත් ජයසූරිය (9) සහ විශ්ව ප්‍රනාන්දු (5) පිටියෙන් ඉවත් කළේය. ඉනිමේ 70 වැනි ඕවරය යැවීමට පැමිණි මාර්කෝ ජැන්සෙන් පළමු පන්දුවෙන්ම ළහිරු කුමාර දවාගැනීමත් සමඟ දකුණු අප්‍රිකාවේ ජය තහවුරු විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 358ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස් කළ හැකි වූයේ ලකුණු 328ක් පමණි. ලකුණු 30ක වාසිය සමඟ දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවෝ ලකුණු 317ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කය ලබා දුන්හ.
ඉනිම් දෙකේදී කඩුලු 7ක් (71/5 හා 33/2) දවාගත් ඩෑන් පැටර්සන් තරගයේ වීරයා ලෙස නම් කළ අතර, තරගාවලිය පුරා ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 327ක් රැස් කළ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තරගාවලියේ වීරයා ලෙස නම් කෙරිණි.
දකුණු අප්‍රිකා පළමු ඉනිම – 358 (ඕවර 103.4) කයිල් විරෙයින් නොදැවී 105, රයන් රිකෙල්ටන් 101, ටෙම්බා බවුමා 78 (ළහිරු කුමාර 79/4, අසිත ප්‍රනාන්දු 102/3, විශ්ව ප්‍රනාන්දු 65/2)
ශ්‍රී ලංකා පළමු ඉනිම – 328 (ඕවර 99.2) පැතුම් නිශ්ශංක 89 (ඩෑන් පැටර්සන් 71/5, කේෂව් මහරාජ් 65/2, මාර්කෝ ජැන්සෙන් 100/2)
දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම – 317 (ඕවර 86) ටෙම්බා බවුමා 66, ඒඩ්න් මාක්රම් 55 (ප්‍රභාත් ජයසූරිය 129/5, විශ්ව ප්‍රනාන්දු 47/2)