Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සුපිරි 6ට!

කාන්තා අවුරුදු 19න් පහළ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ.

‘ඒ’ කාණ්ඩය යටතේ මැලේසියාවේ ක්වාලාලම්පුර්හි බයුමස් ඕවල් පිටියේ පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිල ලකුණු 81කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

මේ ජයත් සමඟ තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙවැනි වටය හෙවත් සුපිරි 6 වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 166ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය කොදෙව් ක්‍රීඩිකාවන්ට ඕවර 19.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 85ක් පමණි.

සමාරා රාම්නාත් ලකුණු 24ක් රැස් කරමින් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, ජසාරා ක්ලැක්ස්ටන් ලකුණු 15ක් සහ කෙනිකා කසාර් ලකුණු 12ක් ඉනිමට එක් කළහ. යළි පන්දුවෙන් දස්කම් දැක්වූ චමෝදි ප්‍රබෝදා ලකුණු 16කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගත්තාය. ලිමන්සා තිලකරත්න සහ අසේනි තලගුණේ කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා පළමු කඩුල්ලට ලකුණු 54ක් එක් කළේ පන්දු 39කිනි. හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ පන්දු 22කින් ලකුණු 19ක් රැස් කර සිටි සුමුදු දැවීයෑමෙන් එම සබඳාතාව නිමාවූ අතර, අනතුරුව සංජනා සමඟ එක්වූ නායිකා මනුදි නානායක්කාර මුළු ලකුණු සංඛ්‍යාව 102ක දක්වා ඉදිරියට ගෙන ගියාය. පන්දු 36කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 38ක් රැස් කළ සංජනා දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, මනුදි ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 37ක් රැස් කර සිටියදීය. හතරේ පහර 4කින් සහ හයේ පහරකින් ඇයගේ ඉනිම වර්ණවත් විය. ඉනිම අගභාගයේ වේගවත් ඉනිමක නිරතවූ දැහැමි සෙනෙත්ම නොදැවී ලකුණු 31ක් රැස් කළේ පන්දු 25කදී හතරේ පහර 3ක් සමඟිනි. පන්දු යැවීමේදී සෙලීනා රොස් කඩුලු 2ක් දවා ගත්තාය. මේ ජය සමඟ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගත්ත ද ඊයේ දහවල් පැවති මැලේසියාවට එරෙහි තරගයෙන් ඉන්දීය පිල කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබමින් යළි පෙරමුණ හිමිකර ගත්තාය. ඉන්දියාව ද සුපිරි 6ට සුදුසුකම් ලබා සිටින අතර, මූලික වටයේදී ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ඉතිරිව ඇත්තේ ‘ඒ’ පෙරමුණ ගැනීමේ සටන පමණි. එම තරගය හෙට (23) බයුමස් ඕවල් පිටියේදීම පැවත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button