අපරාජිත එක්දින වාර්තාව රැක ගැනීමේ අරමුණින් ශ්‍රි ලංකා කණ්ඩායම හෙට එක්දින පිටියට.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (20) පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි
දෙපිල අතර මෙතෙක් එක්දින තරග 64ක් පවත්වා ඇති අතර, ඉන් තරග 31ක් කොදෙව් පිලත් තරග 30ක් ශ්‍රී ලංකාවත් ජයගෙන තිබේ.
කොදෙව් පිල මෙතෙක් ශ්‍රී ලංකාවේදී ද්වීපාර්ශ්වික එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත්ව නැති අතර, මෙවර විස්සයි20 තරගාවලිය පරාජය හේතුවෙන් ඔවුන් එක්දින තරගාවලිය ජය ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත. කොදෙව් පිල මෙරටදී ක්‍රීඩා කළ ද්වීපාර්ශ්වික එක්දින තරගාවලි 4න් 1993 වසරේ කොළඹ පැවති එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමව නිමා කරගෙන තිබේ. අවසන් වරට 2020ත් ඉන් පෙර 2015දීත් පැවති තරග 3කින් සමන්විත තරගාවලි ද්විත්වය ශ්‍රී ලංකා පිල ජයගෙන ඇත්තේ 3-0ක් ලෙසිනි.
එක්දින තරගාවලිය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, චමිඳු වික්‍රමසිංහ පළමු වරට එක්දින පිලට කැඳවා ඇති අතර, මොහොමඩ් සිරාස් ද එක්කර තිබේ. අවසන් වරට පැවති ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා කළ චාමික කරුණාරත්න, අකිල ධනංජය සහ මතීෂ පතිරණට ස්ථාන අහිමිවී තිබේ.
මේ අතර පෙරේදා පැවති තෙවැනි විස්සයි20 තරගයේදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයක් සහිතව ක්‍රීඩා කර ඇති අතර, තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී නායක චරිත් අසලංක පැවසුවේ ආබාධයක් තිබුණත් ඔහු ලොකු කැප කිරීමක් කරමින් තරගයට ක්‍රීඩා කළ බවයි. ඔහුට ලොකු ආබාධ තත්ත්වයක් නැතැයි සිතන අතර, පැතුම් හෙට තරගයට ක්‍රීඩා කරනු ඇති බවට තමා විශ්වාස කරන බව නායකයා පැවසීය.
කොදෙව් කණ්ඩායම ෂායි හෝප්ගේ නායකත්වයෙන් සහ අල්සාරි ජෝසප්ගේ උප නායකත්වයෙන් මේ තරගාවලියට එක්වෙයි.
එවින් ලුවිස් වසර 3කට පසු එක්දින සංචිතයට කැඳවා ඇති අතර, 17 හැවිරිදි ජුවෙල් ඇන්ඩෘද පළමු වරට සංචිතයට එක්ව සිටී. ඔහු හෙට තරගයේදී ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගැනීමට සමත් වුවහොත් ඔහු බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ජගත් තරග වරම් ලැබූ ළාබාලම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වනු ඇත. බ්‍රෙන්ඩන් කිං සහ ෂර්ෆාන් රදර්ෆර්ඩ් වසරකට පසුව යළි කණ්ඩායමට කැඳවා ඇත.