Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් ඡන්දය මාර්තු 31 වැනිදා – ක්‍රීඩා සංගම් 50කින් සභාපති ෂම්මිව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ‍යේ නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 3.30ට අවසන් වූ අතර, ඡන්ද විමසීම මාර්තු 31 වැනිදා පැවැත්වීමට නිලවරණ කමිටුව තීරණය කොට ඇත‍. විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය ඇතුළු පංච පුද්ගල නිලවරණ කමිටුවක් විසින් ක්‍රිකට් ඡන්ද විමසීම මෙහෙයවන අතර, ක්‍රිකට් ව්‍යවස්ථාවේ නව සංශෝධනවලට යටත්ව මෙවර එය පැවැත්වීම විශේෂත්වයකි.

මෙවර ද ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ පාර්ශ්වය තරග බිමට පිවිසෙන අතර‍, සභාපති තනතුරට ඒ මහතාගේ නාමයෝජනාව ක්‍රීඩා සංගම් 50කින් යෝජනා ස්ථීර කොට ඇතැයි වාර්තා වේ. ක්‍රිකට් හිටපු ලේකම් මොහාන් ද සිල්වා මහතා ඉවත්වූ හෙයින් එම තනතුරට පමණක් නව මුහුණක් හෝ වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතැයි පැවසේ. වසර 2023දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් පැවැති නිලවරණයේදී ඡන්ද විමසීමකින් තොරව සභාපති තනතුරට ෂම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත්විය.

බොහෝ කලක සිට ක්‍රිකට් නිලවරණයේදී භාවිත වන ඡන්ද ගණන පිළිබඳ මත පළවූ හෙයින් ඒ පිළිබඳ සැලකිලිමත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පසුගියදා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයක් සිදු කරමින් ඡන්ද හිමි සාමාජික සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීමට පියවර ගත්තේය.

ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අති විශේෂ මහ සභා රැස්වීමේදී ක්‍රිකට් මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය ශක්තිමත් කරමින් විගණන කමිටුවක්, ආයෝජන සහ අයවැය කමිටුවක් සහ ඒ ආශ්‍රිත ගනුදෙනු කමිටුවක් ස්ථාපිත කිරීමට ද සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතිය හිමි විය. එම නව පරිපාලන ව්‍යුහය යටතේ මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද විමසීම පැවැත්වෙන අතර, නිලවරණ කමිටුව මඟින් ඉදිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද විමසීමේදී සුදූසුකම් ලබන නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කරනු ඇත.

මෙතෙක් පැවති ක්‍රිකට් ඡන්ද ක්‍රමය අනුව සෑම සාමාජික සංගමයකටම ඡන්ද දෙක බැගින් හිමිවූ අතර, නව ඡන්ද ව්‍යුහය මඟින් සුදුසුකම් ලත් ක්‍රිකට් සමාජ සහ සම්මේලනවලට එක් ඡන්දයක් බැගින් හිමි වේ. එම ඡන්ද බලය තීරණය කරනු ලබන්නේ මෙරට අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලි මට්ටමින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගෙනය. එමෙන්ම එම ක්‍රීඩා සමාජවල ඇති යටිතල පහසුකම් කවරේද ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට කෙබඳු දායකත්වයක් ලබා දී ඇත්ද යන්න සලකා බලා ඡන්ද බලය පිරිනැමීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button