Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා කාන්තාවො කොදෙව් කාන්තාවන් දණ ගස්සයි.

සිය තුන්වැනි එක්දින තරගයේදීම අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සචිනි නිසංසලා (28/5) හම්බන්තොටදී අද (21 වැනිදා) පැවැති තුන්වැනි කාන්තා එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161 ක දැවැන්ත ජයක් කරා කැඳවාගෙන ගියාය. ලකුණු 276 ක ඉලක්කයක් කරා යමින් සිටි කොදෙව් ක්‍රීඩිකාවෝ, නිසංසලාගේ පන්දු යැවීම හමුවේ ලකුණු 115 කට දැවී ගියහ. 

මෙම ජයත් සමගින් කොදෙව් කාන්තා පිලට එරෙහිව පැවැති තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත් චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, එක්දින තරගාවලියේදී  කොදෙව් පිලට සම්පූර්ණ සුද්දයක් දුන්හ.

කාසියේ වාසිය අහිමි වූවද, පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 275 ක් ලබාගත්හ. චමරි අතපත්තු (91) සහ විශ්මි ගුණරත්න (44) එක්ව 20 වැනි ඕවරය නිමා වීමටත් පෙරම, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. විශ්මිගේ දැවී යාමත් සමගින් ලකුණු 06 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටුණ නමුත් චමරි සමගින් එක්වූ නිලක්ෂිකා සිල්වා ලකුණු 150 සීමාවත් පසුකරමින් ඉදිරියට ගියාය.

චමරි ලකුණු 156 දී දැවී ගියේ ඇෆී ෆ්ලෙචර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. ඇය පන්දු 106 කට මුහුණ දෙමින්, හතරේ පහර 10 කින් සහ අලංකාර හයේ පහර දෙකකින් සිය ඉනිම සරසා තිබිණ. චමරි දැවී ගියද සෙසු පිතිකාරිණියන් පසුපස බැලුවේ නැත. පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කින් ලකුණු 117 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ නිලක්‍ෂිකා සිල්වා (63) සහ අනුෂ්කා සංජීවනී (55) ලකුණු 270 සීමාවට තම කණ්ඩායම කැඳවාගෙන ගියේ ලකුණු 276  ක අසීරු අභියෝගයක් කොදෙව්වන්ට ඉතිරි කරමිනි.

මන්දගාමී ආරම්භයක් ලබාගත් කොදෙව් ක්‍රීඩිකාවෝ ඕවර 10 ක් නිමාවේදී ලබා සිටියේ කඩුලු 2 කට ලකුණු 21 ක් පමණි. එහෙත් චෙඩීන් නේෂන් (40) සමගින් එක්වූ හිටපු නායිකා ස්ටෙෆනි ටේලර් ලකුණු වේගය වැඩිකිරීමට උත්සාහ කළ අතර 15 වැනි ඕවරයේදී කොදෙව්වෝ ලකුණු 50 කඩයිම පසුකළ. කෙසේ වෙතත් ඕෂධී රණසිංහ හමුවේ ස්ටෙෆනි ටේලර් ලකුණු 16 කට දැවී යාමත්, චමරි අතපත්තු විසින් චෙඩීන් නේෂන්ගේ පන්දු 57 ඉනිම නිමා කිරීමත් අතර පරතරය ලකුණු 07 කි.

කොදෙව් ඉනිමේ අඩක් නිමාවන විටත් සංචාරකයන් ලබා සිටියේ කඩුලු 4 කට ලකුණු 73 කි. තරගය ජයගැනීම සඳහා ඉතිරි ඕවර 26 න් ලකුණු 203 ක් අවශ්‍යව තිබිණ. එතැන් සිට තිබුණේ කොදෙව් ක්‍රීඩිකාවන් ඉලක්කය කරා යනවාද නැද්ද යන ප්‍රශ්නය නොවේ. කොදෙව්වන්ගේ ගමන නතර වන්නේ කොතැනින්ද යන්න පිළිබඳ කුකුසයි.

නිසංසලා ඒ වන විටත් පන්දු යැවීම ආරම්භ කර නොතිබිණ.

25 වැනි ඕවරයේදී පන්දුව බාරගත් නිසංසලා, සිය පස්වැනි පන්දුවේදීම සයිඩා ජේම්ස් දවාගනිමින් වැඩ ඇල්ලුවාය. දෙවැනි ඕවරයේදී තවත් කඩුලු 2 ක් දවාගත් නිසංසලා, සිය පස්වැනි ඕවරය නිමා කරන විට, නිලකුණු ඕවරයක් ද සමගින්, ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගෙන සිටියේ කොදෙව් පිතිහරඹයේ කොඳුනාරටිය බිඳ දමමිනි.

අවසන් ඕවරයේදී ආලියා ඇලේන් හතරේ පහර දෙකකින් නිසංසලාට සංග්‍රහ කළ නමුත් තවත් පන්දු දෙකකට පසුව නිසංසලාටම උඩපන්දුවක් දුන් ආලියා, තමන්ගේ පිතිහරඹයත් කොදෙව් ඉනිමත් යන දෙකම ලකුණු 115 දී නිමා කළාය.

ශ්‍රී ලංකා කාන්තාවෝ – ඕවර 20 කදී කඩුලු 6 ට 275 යි
(විශ්මි ගුණරත්න 44, චමරි අතපත්තු 91, නිලක්ෂිකා සිල්වා 63, අනුෂ්ක සංජීවනී 55, කරිෂ්මා රාම්හකරක් 46/2)

බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ – ඕවර 34.5 කදී සියලු දෙනා දැවී 115
(චෙඩීන් නේෂන් 46, ස්ටෙෆනි ටේලර් 16, ආලියා ඇලේන් 27, කියානා ජෝෂප් 11, ඕෂධී රණසිංහ 14/2, සචිනි නිසංසලා 28/5)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button