ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා 18 හැවිරිදි ක්වේනා මපාකා ටෙස්ට් සංචිතයට කැඳවයි
ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා 18 හැවිරිදි ඉලන්දාරියකු වන ක්වේනා මපාකා කැඳවීමට දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා ඛෙබාරා (පැරණි පෝට් එළිසබෙත්) නුවරදී ආරම්භ වේ.
පළමු ටෙස්ට් තරගයේදී ළහිරු කුමාරගේ පන්දුවක් අතේ වැදීමෙන් වියාන් මල්ඩර් තුවාල ලැබූ හෙයින් ඔහු තරගය පුරාම පන්දු යැවීමෙන් වැළකී සිටියේය. තරගයෙන් පසුව දකුණු අප්‍රිකාවේ සිටින වේගවත්ම පන්දු යවන්නා ලෙසින් සැලකෙන ජෝර්ජ් කොඑට්සි ඉකිළියේ ආබාධයකට ලක්ව තිබේ.
තවමත් ටෙස්ට් වරම් දිනානැති මපාකා විස්සයි-20 අන්තර්ජාතික තරග දෙකක් සඳහා දකුණු අප්‍රිකාව නියෝජනය කර තිබේ.
සංචිතයට කැඳවන ලද නමුත් සිය ටෙස්ට් හිස්වැස්ම දිනාගැනීම සඳහා පළපුරුදු වේග පන්දු යවන්නකු වන ඩෑන් පීටර්සන් සහ සෙනුරන් මුතුසාමි සමග තරග වැදීමට මපාකාට සිදුවෙයි. පළමු ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වලතා හේතුවෙන් දෙවැනි තරගයේදීත් වේග පන්දු යවන්නන් සමගින් තරග කිරීමට දකුණු අප්‍රිකානුවන් උත්සුක වීම අපේක්‍ෂා කළ හැකි තත්ත්වයයි.
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 233 ක ජයක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයේ ස්ථානයක් සොයමින් සිටී.
දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන දකුණු අප්‍රිකානු සංචිතය
ටෙම්බා බවුමා (නායකයා), ඩේවිඩ් බෙඩිංග්හැම්, මැතිව් බී්‍රට්ස්කි, ටෝනි ඩි’සෝසි, මාකෝ යැන්සන්, කේෂව් මහාරාජ්, ක්වේනා මපාකා, ඒඩ්න් මාක්රම්, සෙනුරන් මුතුසාමි, ඩෑන් පීටර්සන්, කගීසෝ රබාඩා, ටි්‍රස්ටන් ස්ටබ්ස්, රයාන් රික්ල්ටන් සහ කයිල් වේරීන්