Cricket NewsEXCLUSIVEInternational

රයන්ගෙ මංගල ශතකයෙන් දකුණු අප්‍රිකා ඉනිම ඉහලට ඔසවා තබමින් පළමු දිනයේ වැඩි වාසි හිමි කරගනී

තණකොළ සහිත ඛෙබාරා තණතීරුවේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් නායක ටෙම්බා බවුමා (78) සහ රයාන් රික්ල්ටන් (101) එක්ව ගොඩනැංවූ ශතක සම්බන්ධතාව නිසා දකුණු අප්‍රිකානුවෝ හිස් ඔසවා ගත්හ. බවුමා දැවී ගියද සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් රයාන් රික්ල්ටන්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා පළමු දිනය නිමාවන විට දකුණු අප්‍රිකානුවෝ හිස් ඔසවා ගත්හ.

ඛෙබාරා නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ මුල් දිනය වන අද (05 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට දකුණු අප්‍රිකානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 269 ක් ලබා සිටියහ. කඩුලු රකින්නා වන කයිල් වර්රීන් නොදැවී ලකුණු 48 ක් ලබා සිටියේය.

ඕවර 80 ක් නිමාවේදී දෙවැනි නව පන්දුව ලබාගන්නා විටත් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 කට 251 ක් ලෙසිනි. එහෙත් දෙවැනි නව පන්දුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනා, පන්දු 7 ක් ඇතුළතදී කඩුලු දෙකක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරගයට කැඳවාගෙන ආහ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ රයාන් රික්ල්ටන් පැය හයකට ආසන්න කාලයක් පිටියේ රැඳෙමින් පන්දු 250 කට මුහුණ දුන්නේ ඒවායින් 11 ක් හතරේ සීමාවට යවමිනි. තවමත් සිය 8 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින රික්ල්ටන්, 28 හැවිරිදි කඩුලු රකින්නෙකි. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වියාන් මල්ඩර් තුවල ලැබීම හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ගේ පිතිකරු ලයිස්තුව වෙනස් කිරීමට සිදුවූ නිසා රික්ල්ටන් අංක 3 ස්ථානයට කැඳවන ලදි.

තමන්ට ලැබුණු අවස්ථාවෙන් කදිම ප්‍රයෝජන ගත් වමත් පිතිකරුවා, ලකුණු 98 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූයේ යැයි විනිසුරු ජොයෙල් විල්සන් මහතා තීරණය කළේය. එහෙත් එය විතීවි ක්‍රමවේදයට යොමුකළ අවස්ථාවේදී විශ්ව ප්‍රනාන්දු යැවූ පන්දුව පා ආවරණයේ වැදීමට පෙර පිත්තේ වදින බවක් දිස්වූයෙන් විනිසුරුවරයාට සිය තීන්දුව වෙනස්කිරීමට සිදුවිය. විශ්ව ප්‍රනාන්දුගේ ඊළඟ පන්දුවෙන් ලකුණු 2 ක් ලබාගත් රික්ල්ටන් පන්දු 231 කදී සිය ශතකය සම්පූර්ණ කළේය.

මෙම තරගාවලියේදී පිට පිටම තුන්වැනි අර්ධ ශතකයත් ලබාගත් ටෙම්බා බවුමා තේ පානයට විනාඩි 5 කට පෙර දැවී ගියේය. ටෙම්බා බවුමා හමුවේ දිගින් දිගටම කෙටි පන්දු යවමින් ඔහුව හුක් පහරකට පොළඹවාගත් අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලට අවශ්‍යම කර තිබූ කඩුල්ල දවා දුන්නේය.

එක දිගට හත් වතාවක් කාසියේ වාසිය දිනා සිටි ධනංජය ද සිල්වාගේ වාසනාව අවසන් කරමින් ටෙම්බා බවුමා කාසියේ වාසිය දිනාගත්තේය. පළමුව පන්දුවට පහරදීම තෝරාගත් නමුත් දකුණු අප්‍රිකානුවන්ගේ ආරම්භය ඔවුන් සිතූ තරම් සාර්ථක නොවීය. ඛෙබාරා (කලින් පෝට් එළිසබෙත්) නගරය ඝණකම වළාවකින් වැසී තිබූ පළමු පැය ඇතුළත ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 44 කට කඩුලු 3 ක් දවාගත්හ. එහෙත් වළාකුළ ඉවත්ව යාමත් සමගින් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ තරගයේ පාලනය සියතට ගත්හ.

සිය දෙවැනි ඕවරයේදීම ඒඩ්න් මාක්රම් දවාගත් ළහිරු කුමාර ඒ සමගම තමාගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත්තේය. පසුව ටි්‍රස්ටන් ස්ටබ්ස්වත් පිටියෙන් ඉවත් කළ ළහිරු කුමාර තමාගේ ඕවර 5 පළමු පන්දු යැවීමේ වාරය අවසන් කළේ 5-1-17-2 ක් ලෙසිනි.

ඩර්බන් තරගයේදී දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් කිරීමට තරම් හේතුවක් නොතිබිණ. එබැවින් පළමු තරගයේදී ක්‍රීඩා කළ 11 දෙනාම මෙම තරගයේදීත් ක්‍රීඩා කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button