Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනයෙන් කුඩම්මාගේ සැලකිලි – වැඩි විස්තර මෙන්න.!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පැවති දෙවැනි පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය නැරඹීම සඳහා එහි ගොස් සිටි ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක මණ්ඩල සාමාජිකයින්ට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අඩු සැලකිලි දක්වා ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් රටවල් දෙකක් අතර සිදුවන තරග සංචාරයක දී ආගන්තුක කණ්ඩායමේ පාලක මණ්ඩල බලධාරීන් පැමිණෙන විට සත්කාරක කණ්ඩායමේ පාලක මණ්ඩල එම ආගන්තුක නිලධාරීන් හට තරු පංතියේ විශේෂ ආරාධිත අමුත්තන් හට ලැබෙන සැලකිලි දක්වන බව නොරහසක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරටට පැමිණෙන ආගන්තුක විධායක කමිටු සාමාජිකයන් හට තරග නැරඹීම සඳහා සෑම විටම වෙන් කරනු ලබන්නේ අදාළ ක්‍රීඩාංගණවල ඇති සභාපතිවරයාගේ තරග නැරඹුම් කුටි, එසේත් නොමැතිනම් ඔවුන් හට සාමාජිකයින් සඳහා පමණක් වෙන්වූ members pavilion ක්‍රීඩාගාර තුළ අතිවිශේෂ සැලකුම් යටතේ තරග නැරඹීමේ පහසුව ලබා දෙනවා.

කෙසේ නමුත් මේ වන විට ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලිය නැරඹීම සඳහා එහි ගොස් සිටින ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු විධායක කමිටු සාමාජිකයන් හට අද තරගය නැරඹීම සඳහා ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනය විසින් වෙන්කර ඇත්තේ සාමාන්‍ය ක්‍රීඩාගාරයක ඉහළ මහලේ අසුන් කිහිපයක් වීම විමතියට කරුණක්.

මෙලෙස ආගන්තුක කණ්ඩායමක විධායක නිලධාරීන්ට සැලකීම දෙරටේ කණ්ඩායම් සහ ක්‍රිකට් පාලක මණ්ඩල අතර ඇති හොඳ හිත පළුදු කරන්නක් වනවා සේම එය සාමාන්‍ය සැලකුම් සම්ප්‍රදාය බිඳ දැමීමක් ද වනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඔස්ට්‍රෙලියා ක්‍රිකට් ආයතනයෙන් සිදුකළ විමසීමක දී ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ ඒ සඳහා මේ මොහොතේ ප්‍රතිචාර දැක්විය නොහැකි බවයි.

– හිරු නිව්ස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button