EXCLUSIVESri Lanka

කෙටි කලකින් වේගවත් සාර්ථකත්වයක් ලඟා කරගත් ශ්‍රී ලංකා පා පන්දු කණ්ඩායම අනුශුරයින් ලෙසින් තරඟාවලිය අවසන් කරයි – වසීම් රාසික්ට සහ සුජාන්ට රන් සම්මාන.!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟය අද (19) සීෂෙල්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුන අතර එම අවසන් මහා තරඟයෙන් දඬුවම් පහර 3-1ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සංචාරක සීෂෙල්ස් ක්‍රීඩකයින් සමත් වුයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අනුශුරයන් බවට පත් කරමිනි.

එක් තරගයක් ජය ගනිමින් සහ තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් සීෂෙල්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර එක් තරගයක් පරාජය වී තරගයක් සමව අවසන් කළ ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ ලැබූ තියුණු ජයග්‍රහණය නිසාවෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති Gianni Infantino මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම තරගය පැවැත්වුනේ කොළඹ තුරඟ තරග පිටියේ දීයි.

අද කුසලානය වෙනුවෙන් සටන් වැදුණු සීෂෙල්ස් කණ්ඩායම වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 199 වැනි ස්ථානයේ පසු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීමේ 204 වැනි තැන පසු වුනා.

තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ ඉදිරි පෙළ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඩිලොන් ද සිල්වා සහ කවිඳු ඉෂාන් ආබාධ නිසාවෙන් මෙම තරගයෙන් ඉවත්ව සිටි අතර පසු පෙළ ආරක්ෂක වළල්ලේ තුරුම්පුව ලෙස සැලකූ Duckson Puslas ද පෙර තරගයේ ලද රතු කාඩ්පත නිසාවෙන් මෙම තරගයෙන් ඉවත්ව තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායක තත්වයක් වුනා.

සත්කාරක ශ්‍රී ලංකාවට සුබවාදී ආරම්භයක් ගෙන දෙමින් තරගයේ පළමු ගෝලය රැස්කිරීමට මර්වින් හැමිල්ටන් තරගය ආරම්භ වී 4 වැනි මිනිත්තුවේ දීම සමත් වුණා.

පළමු අර්ධයේ අවසානය තෙක් ශ්‍රී ලංකාව රඳවාගෙන තිබූ ආධිපත්‍ය විනාශ කරමින් ගෝල තත්වය සම කිරීමට සීෂෙල්ස් ක්‍රීඩක Emmanuel Jeanට හැකි වුනා. ඒ 45 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට පැමිණි පන්දුවක් සුජාන් පෙරේරා පසු කරමින් හිසින් ගෝලය වෙත එල්ල කරමින්.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 1 – 1 සීෂෙල්ස්

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ සතුට දෙගුණ කරමින් 57 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට පැමිණි පන්දුවක් වේගවත් පහරක් මගින් දැල වෙත එල්ල කිරීමට මොහොමඩ් ආකීබ්ට හැකි වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නා නරඹන්නෙක් බවට පත් කරමිනුයි.තරගයේ වැඩි ආධිපත්‍ය ශ්‍රී ලංකාවට දිනා දෙමින් 85 වැනි මිනිත්තුවේ දී තරගයේ තුන්වැනි ගෝලය මෙන්ම තරගාවලියේ සිය හත්වැනි ගෝලය වාර්තා කිරීමට වසීම් රාසීක්ට හැකි වුනා.

නමුත් සිය කණ්ඩායම නැවතත් තරගයට ගෙන එමින් 85 වැනි මිනිත්තුවේ දී සුජාන් පෙරේරා පසුකරමින් ශ්‍රී ලංකා ගෝලය වෙත පන්දුව යොමු කිරීමට සීෂෙල්ස් නායක Steave Benoitට හැකි වුනේ ක්‍රීඩාංගණයම සුළු මොහොතකට නිහඬ කරමිනි.ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරමින් තරගයේ 90 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් ලබා ගනිමින් ගෝල තත්වය සම කිරීමට සීෂෙල්ස් ක්‍රීඩක Woodley Tambooට හැකි වුනා.

තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී කණ්ඩායම් දෙකම සම තත්වයේ සිටි නිසාවෙන් ජයග්‍රාහකයන් තීරණය කිරීමට දඬුවම් පහර අවස්ථාවකට යාමට සිදු වුනා.තරගයේ අවසන් භාගයේ දී ලබා ගත් රිද්ම,ය දඬුවම් පහර වටයේ ද රඳවා ගත් සීෂෙල්ස් ක්‍රීඩකයන් එම වටය ගෝල 3-1ක් ලෙස අවසන් කළේ අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය සිය නමට ලියා ගනිමිනි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 3 (1) – 3 (3) සීෂෙල්ස්

තරගාවලියේ Golden Boot සම්මානය වසීම් රාසික් විසින් දිනා ගනිද්දී තරගයේ වටිනාම ක්‍රීඩකයාට හිමි වන Golden Ball සම්මානයට හිමිකම් කීවේ ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරායි.

– The papare වෙබ් අඩවිය ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7