ඉන්දියාව පැරදවූ ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම් වල ඉහළට එයි.
ඉන්දියාව පරදවා වසර 27කට පසු එක්දින තරගාවලි ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එක් ස්ථානයකින් ඉදිරියට යෑමට සමත්ව තිබේ.
මේ තරගාවලියට පෙර 7 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා පිල මේ වන විට 6 වැනි ස්ථානයට පත්ව ඇති අතර, ඒ සමඟ එංගලන්ත කණ්ඩායම එක් ස්ථානයකින් පහත වැටී ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවද තවමත් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙයි. පාකිස්තානය (4) සහ නවසීලන්තය (5) ද ශ්‍රී ලංකාවට ඉහළින් සිටී.
මේ අතර ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ වීරයා වූ දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ ස්ථාන 65කින් ඉදිරියට පැමිණ තිබීම කැපී පෙනේ. ඔහු මේ වන විට 67 වැනි තැනට පත්ව ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්ස් සහ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ද සමඟිනි. නායක චරිත් අසලංක ස්ථාන 32කින් ඉදිරියට පැමිණ 70 වැනි ස්ථානයේ පසුවන අතර, ඉන්දියාවේ අක්සර් පටෙල් 71 වැනි තැන අත්කර ගෙන ඇත්තේ ස්ථාන 40ක් ඉදිරියට එමිනි. තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් පසුවන ශ්‍රී ලාංකිකයා වන වනිඳු හසරංග 17 වැනි තැන රැඳී සිටී.
පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ජනිත් ලියනගේ (76) ස්ථාන 10කින් සහ අවිශ්ක ප්‍රනාන්දු (88) ස්ථාන 9කින් ඉදිරියට පැමිණ ඇති අතර, පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ (76) ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබේ. ඉන්දීය ක්‍රීඩක කුල්දීප් යාදව් ස්ථාන 5ක් ඉදිරියට ගොස් සිව්වැනි තැනට පත්ව ඇති අතර, වනිඳු හසරංග (27) ස්ථාන 2ක් පහළ වැටී ඇති අතර, මහීෂ් තීක්ෂණ 13 වැනි තැනම සිටී.