Cricket NewsEXCLUSIVEInternational

මෙන්ඩිස්ගෙ වේගවත් 50ට වඩා ලුවිස්ගෙ වේගවත් 100 බලවත් වීම නිසා කොදෙව්වන්ට ජයක්

පන්දුව තෙතබරිත වීම හින්දාම වුණත් නැතත්, ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම හදිසියේම පහළට ඇදැ වැටී තිබිණ. ඒ ආකාරයේ පන්දු රැකීමක් සහිත කණ්ඩායමකට, ජයග්‍රහණය අනෙක් කණ්ඩායමට පූජා කිරීම මිස විකල්පයක් නොවේ.

එම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් එවින් ලුවිස් (නොදැවී 102) සහ ශර්ෆේන් රදෆර්ඩ් (නොදැවී 50) චිත්තාකර්ශනීය පිතිහරඹයක යෙදෙමින්, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී කඩුලු 8 ක ජයක් කරා කෙදෙව් පිල කැඳවාගෙන ගියහ. කෙසේ වෙතත් පළමු තරග දෙකම පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-1 ක් ලෙසින් තරගාවලිය ජයගත්තේය.

ලකුණු 195 ක ඉලක්කයක් කරා යද්දී, පන්දු 61 කින් ලකුණු 102 ක් ලබාගත් එවින් ලුවිස් සහ පන්දු 26 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ශර්ෆේන් රදර්ෆර්ඩ් දෙදෙනා, කොදෙව් පිතිකරුවන්ට ආවේණික පිතිහරඹ රටාව මේ යයි කදිමට ප්‍රදර්ශනය කළහ. මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව ගැසූ හතරේ පහර සංඛ්‍යාව 13 කි. හයේ පහර සංඛ්‍යාව 7 කි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 156 ක් ලබාගත්තද, වර්ෂාව හේතුවෙන් ඕවර 23 කට සීමා කෙරුණු තරගයේදී කොදෙව්වන්ගේ ඉලක්කය ලකුණු 195 ක් විය. තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව නිරන්තරයෙන්ම ඩක්වර්ත් – ලුවිස් ඉලක්කයට ඉහළින් තබාගත් වමත් ආරම්භක පිතිකරුවා, පන්දු 34 කින් සිය 11 වැනි එක්දින අර්ධ සම්පූර්ණ කළේය. අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් ලණුව උඩින් යවමින්  සිය පස්වැනි එක්දින ශතකය සම්පූර්ණ කළ ලුවිස්, එයින්ම කොදෙව් පිලට ජයග්‍රහණය ගෙනැවිත් දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් උඩපන්දු කිහිපයක් ගිළිහී ගිය අතර අවස්ථා රැසකදීම ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දෑත් අතරින් රිංග පන්දුව හතරේ සීමාව පසුකර ගියේය. වර්ෂාවෙන් පසුව තණකොළ තෙමී තිබීම හේතුවෙන් පන්දුව නිරන්තරයෙන්ම තෙතබරිතව තිබිණ. ඊට අනුලෝම වශයෙන් තණතීරුවද පන්දු යවන්නන්ට සොහොන් බිමක් විය.

වර්ෂාව ඇද වැටීමට පෙර ඕවර 17 කින් ලකුණු 81 ක් (සාමාන්‍යය 4.76) පමණක් ලබාගත් තණතීරුවේදීම වර්ෂාවෙන් පසුව ඕවර 28 කින් ලකුණු 271 ක් ලබාගැනිණ. වර්ෂාවන් පසුව ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ඕවරයකදී 9.68 ක් විය. වර්ෂාව නිසා තරගයේ පැය 5 කට වැඩි කාලයක් අපතේ ගියේය. පස්වරු 3.43 ට නතර කළ තරගය යළි ආරම්භ කරන විට රාත්‍රී 8.50 වී තිබිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වැනි වේගවත්ම  එක්දින අර්ධ ශතකය සමුපූර්ණ කළ මෙන්ඩිස් පන්දු 22 කින් ලබාගත් අර්ධ ශතකයට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. මෙන්ඩිස් සිය එක්දින දිවියේ 4000 වැනි ලකුණ පසුකර ගියේ පන්දු 7 ක් ඇතුළත පිට පිටම ගැසූ හතරේ පහර 6 කිනි. ඒවායින් 4 ක් රොස්ටන් චේස්ගේත් තවත් දෙකක් ගුඩාකේෂ් මෝතිගේත් පන්දු විය.

පැතුම් නිස්සංකගේ 16 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 7 කින් සහ හයේ පහරකින් සමන්විත විය.

වැහි අඳුර කෙතරම් දැඩි වූයේද යත් පස්වරු 3.30 ට ක්‍රීඩා පිටියේ විදුලි බුබුලු ක්‍රියාත්මක කෙරිණ. එහෙත් පස්වරු 3.43 ට තරගය නතර කිරීමට සිදුවිය. පස්වරු 5.00 වන විටත් වර්ෂාව වැටෙමින් පැවැති අතර තණතීරු ආවරණ වලින් සම්පූර්ණ ක්‍රීඩාංගණයම වසා දමා තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button