Cricket NewsEXCLUSIVE

Hardik Pandya ඇතුළු IPL සුපිරි තරු රැසක් පිරිවරා සිටින ඉන්දීය කණ්ඩායමට එරෙහි සටනට දසුන් ශානක ප්‍රමුඛ සිංහ කණ්ඩායම සුදානම්.!

2023 වසර උදාවත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර දින දර්ශනය ආරම්භ කරමින් පළමු විස්සයි-20 තරගයට ක්‍රීඩා කිරීම සදහා හෙට (ජනවාරි 03 ) ඉන්දීය කණ්ඩායමට එරෙහිව මුම්බායි වන්කඩේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පිවිසීමට නියමිතය.

එතරම් සාර්ථක නොවූ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින ඉන්දීය කණ්ඩායම හෙට තරගයට පිවිසෙන්නේ නායකත්වයට අලුතෙන් පත් හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වය යටතේය. වර්තමාන ආසියානු ශූරයින් ලෙසින් කිරුළු පළදා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ හෙට තරග වැදීම සඳහා තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමක් නම් කර තිබීමද විශේෂත්වයකි.

ගෙවී ගිය මාසයේදී බංග්ලාදේශයට එරෙහි තරගාවලිය්දී මහපටැඟිල්ලේ ආබාධයකට ගොදුරුවීම නිසා රෝහිත් ෂර්මා තවමත් සුවය ලබා නොමැති අතර ඔවුන් සතු හොඳම පිතිකරුවා ලෙස සැලකෙන විරාට් කෝලිටද විවේකයක් ලබා දීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මෙම තරගාවලියේ වැඩිම අවධානය දිනාගෙන සිටින පිතිකරුවන් කීප දෙනෙකුම කණ්ඩායම් දෙකේම පසුවීම කැපී පෙනෙන අතර ඒ අතරින් ඉන්දිය පිතිකරු සූර්යකුමාර් යාදව් කැපී පෙනෙනෙන්නේ ගතවූ 2022 වසරේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට සමත්ව සිටීම නිසාය. තරග 31 කට ක්‍රීඩා කර ඇති යාදව් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 1164 ක්. ඔහුට අමතරව නායක හර්දික් පාණ්ඩ්‍යාද තරග 25 කදී ලකුණු 607 ක් ලබා සිටියි.

සංචාරක කණ්ඩායම බවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවා බවට පත්ව සිටින්නේ පැතුම් නිස්සංකය. ගෙවී ගිය 2022 වසරේදී තරග 24 කට ක්‍රීඩා කර ඇති දකුණත් ආරම්භක පිතිකරුවා අර්ධ ශතක 6 ක් ද සමඟ රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 713 කි. ඊට අමතරව ඔහුගේ සහායක ආරම්භක පිතිකරුවා වන කුසල් මෙන්ඩිස්ද තරග 20 කදී ලකුණු 521 ක් රැස් කර සිටින්නේ ප්‍රහාරාත්මක වේගය 132.23 ක් රදවා තබා ගනිමිනි.

පිතිකරුවන්ට පාරාදීසයක් බඳු යැයි සැලකෙන මුම්බායි වන්කඩේ තණතීරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හොදම මතකය වන්නේ 2011 වසරේ පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයයි. එම තරගයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ කඩුලු 7 ක පරාජයකට පත්වූවා පමණක් නොව කුසලාන සිහිනය පසෙක තබා අනුශූරතාවයෙන් පමණක් සෑහිමකට පත්වීමට සිදුවිය.

වන්කඩේ තණතීරුව මතු පිට ගත් විට එය මතු පිටින් ලිස්සා යන ස්වරූපයක් පෙන්නුම් කෙරේ. වේග පන්දු යවන්නන්ට ඔවුන්ගේ උපරිමය කළහොත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඉතිහාසය සාක්ෂි දරාතිබේ. කෙසේ වෙතත් මෙහි ප්‍රධානම බලපෑම ලෙස රාත්‍රි කාලයේදී ඇද හැළෙන පිණි සහිත තත්ත්වය සඳහන් කළ හැක.

ඒ අනුව ආසියානු ශුරයන් ලෙස ශ්‍රී ලංකාව හෙට ඉන්දියාවට එරෙහිව සටන් බිමට පිවිසෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button