Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා පිල අද ගෞරවය රැක ගැනීමේ අරමුණින් පිටියට පිවිසෙයි

චරිත් අසංලකගේ නව නායකත්වය යටතේ පළමුවරට ශ්‍රී ලංකා පිල තරග වැදුණු විස්සයි20 තරගාවලියෙන් සංචාරක ඉන්දීය පිල හමුවේ පරාජයට පත් විය. තරග 3කින් සමන්විත එම තරගාවලියේ තුන්වැනි හා අවසන් තරගය අද රාත්‍රී පල්ලෙකැලේ පිටියේදී රාත්‍රී 7.00ට ආරම්භ වන අතර, ශ්‍රී ලංකා පිල අද තරගයට එක් වන්නේ තරග 2-0කින් පෙරමුණ ගෙන සිටින ඉන්දීය පිල හමුවේ සිය ගෞරවය රැක ගැනීම උදෙසා ය.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා පිලේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරන පළමු තරගාවලිය ද මෙය වේ. ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ පිතිහරඹ විශේෂඥයන් හමුවේ වැඩමුළුවකට සහභාගි කරවමින්ද, දැඩි කැපවීමකින් යුතුව පුහුණුවීම් කරමින්ද සිය කණ්ඩායමේ විශ්වාසය ගොඩනැඟීමට ජයසූරිය ගත් වෑයම තවමත් සාර්ථක වී නැත.

පළමු තරගය ලකුණු 43කින් පරාජය වූ ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයෙන් පරාජයට පත් වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව කඩුලු 7කිනි. තරග 2දීම ශ්‍රී ලංකා පිලේ පරාජයට හේතු වූයේ මුල්පෙළ පිතිකරුවන් ලබා දුන් සාර්ථක ආරම්භය ඉදිරියට ගෙන යෑමට මැදපෙළ පිතිකරුවන් අසමත් වීමය. පළමු තරගයේදී ඉන්දීය පිල පළමුව පන්දුවට පහරදී ලබාදුන් ලකුණු 214ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 9 ම බිඳ වැටුණේ ලකුණු 30ක් ඇතුළතදීය. දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 15ක් නිමාවන විට කඩුලු 2කට ලකුණු130ක් ලබා සිටියද, අවසන් ඕවර පහේදි තවත් කඩුලු 7ක්ම අහිමි කරගත්තේ ලකුණු 31ක් ඇතුළතදීය. මේ පරාජයන් දෙකම ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ මැදපෙළ පිතිකරණ ලැයිස්තුව ගැන පුහුණුකරුවාට යළි අලුතින් සිතීමට හා සැලසුම් කිරීමට හේතු වී තිබේ. ශ්‍රී ලංකා පිලේ මැදපෙළ තුරුම්පුව වන දසුන් ශානක තරග 2දීම දැවී ගියේ ලකුණු නොලබා ය. කණ්ඩායම පිළිසකර කිරීමේ සාර්ථක හැකියාවන් පෙන්වා ඇති නව නායක චරිත් අසංලක මෙන්ම කමිඳු මෙන්ඩිස් ද සාර්ථක ලෙස සුපුරුදු දස්කම් අතරට පැමිණ නැත.

අද තරගයේ ශ්‍රී ලංකා ඉරණම රඳා පවතින්නේ මැදපෙළ පිතිකරුවන්ගේ සාර්ථකවීම හෝ අසාර්ථකවීම මතය. තරගාවලිය පරාජයට පත් වූවද අද ශ්‍රී ලංකා පිල ලබාගන්නා ජයග්‍රහණය අගෝස්තු 2 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත දෙපිල අතර එක්දින තරගාවලියට ද කදිම උත්තේජනයක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button