Cricket NewsEXCLUSIVEInternationalRishie BroTrending Article

වනිදු හදන්නෙ රසිකයන්ට පාඩමක් උගන්නන්නද ? – ක්‍රිකට් රසිකයකුගෙ විග්‍රහයක්

ක්‍රිකට් ක්‍රීඩාව අද වෙන විට ක්‍රීඩකයින්ට ක්‍රීඩාවකට අමතරව Life Style එකක් බවට පත් වෙලා…
වෘත්තිමය ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා දක්වනවාට අමතරව මුදල් කියන කාරණය ඒ ක්‍රීඩකයා තුලට ගලාගෙන එන විට දක්ෂතාවය සහ මුදල් නිසි ලෙස කළමණාකරණය කරමින් ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට ගමන් කරන හැටි ඕනෑම ක්‍රීඩකයෙකු ඉගෙන ගත යුතුයි.

අද වනිඳු හසරංගට විතරක් නෙමෙයි ලංකාවේ බොහෝ ක්‍රිකට් ක්‍රිඩකයින්ට වෙලා තියෙන්නේ මුදල් සහ ක්‍රීඩාව හරිහැටි කළමණාකරණය කර ගන්න නොහැකි වී තිබීම.
ඊට අමතරව ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම තුල ඇති අඩු තරගකාරීත්වයත් මීට හේතුවක්…
පොඩි තැනක ඉදන් කට්ටක් කාලා ජාතික තලයට ආවයින් පස්සේ දවසින් දවස දක්ෂතා පෙන්නලා කන්ඩායමේ නැතුවම බැරි ක්‍රීඩකයෙකු ලෙස නමක් හදා ගත්තට පස්සේ බොහෝ ක්‍රීඩකයින්ට මුල අමතක වෙනවා.

තමන් මුලදි ගහපු ක්‍රිකට් එක අමතක වෙනවා. ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ තියෙන අඩු තරගකාරීත්වය නිසා තමන්ගේ ස්ථානයට තරගයක් දෙන්න කිසිම ක්‍රීඩකයෙකු නැ කියලා තේරුනාට පස්සේ ඒ ක්‍රීඩකයාට තියෙන උනන්දුව පවා අඩු වෙනවා. හේතුව ඔහු දක්ෂතා පෙන්නුවා හෝ නැතා ඔහුගේ ස්ථානයට තර්ජනයක් වෙන්න පුළුවන් දෙවෙනි පෙලක් අපිට නැත්තම් ඔහු ඉබෙම ” පොර මානසිකත්වය ” ඔලුවට ගහනවා. උනන්දුව නැති වෙනවා. අපේ ක්‍රිඩකයින් බහුතරයක් එකම විදියට දැවී යන්නේ එකම වැරැද්ද නිතරම කරන්න ඒ හේතුවත් බලපානවා.

ඒත් එක්ක සල්ලි යහමින් අතට එනවිට ඒ පොර මානසිකත්වය තවත් උඩු දුවනවා.
වනිඳුට වුනෙත් එහෙම දෙයක්…!

වනිඳු ඇත්තටම දක්ෂයෙක්,

ඔහු මේ වනවිටත් කන්ඩායමේ අනිවාර්යය ක්‍රීඩකයෙකු වී හමාරයි. ඒ වගේම ඔහුට පසුගිය කාල වකවානුවේ පෙන්නපු දක්ෂතා එක්ක සල්ලි ඇති තරම් ඔහු වෙත ගලාගෙන එන්න ඇති…
ඒ සේරම එක්ක නායකත්වය පවා ඔහුට හිමි වෙනවා.
ඔහුට මේ කෙටි කාලයක් තුල ලැබුනු ඉහල වරප්‍රසාද සේරම කළමණාකරණය කරන හැටි ඔහුගෙන් ගිලිහී යනවා.

පසුගිය ලෝක කුසලානයට යන්නට පෙර වුනු සිදුවීම් ඔබට මතක ඇති… ඔහු කන්ඩායමට මොන තරම් වටිනා ක්‍රීඩකයෙක්ද යන්න ඊට සාක්ෂි දරනවා. තේරුම් කමිටුව වගේම පිටින් ආපු කිසිම බලපෑමකට යටත් නොවුනු වනිඳු ලෝක කුසලානයට රැගෙන ගියේ ඔහුම ඉල්ලපු කන්ඩායමක්…
ලෝක කුසලාන මූලික සංචිතයට නම් නොකරපු ජනිත් ලියනගේ පවා අවසානයේ ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස රැගෙන ගියේ වනිඳුගේ ඉල්ලීම මත…
එමෙන්ම කුසල් ජනිත් පෙරේරා වැනි ජේෂ්ඨ ක්‍රීඩකයින්ටද සංචිතයේ අවස්ථාව අහිමි වෙනවා.
චාමික කරුණාරත්නටද එලෙසමයි.

ඔහු තුල ලොකු ආත්ම විශ්වාසයක් ලෝක කුසලානයට යන්නට පෙර පෙන්නුම් කරනවා.
ඒ අතර තුර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලසීමවේ ඔහුට විරුද්ධව සමාජ මාධ්‍ය විරෝධයක් ගොඩ නැගෙනවා. ඒ විරෝධය විටෙක කාගේ හෝ පටු අරමුණින් ගොඩ නැගුනු විරෝධයක් වන්නට පුළුවන්…!

හැබැයි වනිඳු හසරංගගේ හැසිරීම් වටාව ඒ වනිඳු විරෝධි ව්‍යාපාරය තවත් සාර්ථක කරා යැයි පිලිගත යුතුයි
අර්ජුනලා මෙන් ලෝක කුසලානයට ගිය වනිඳු ආවේ මීලග මාලිංග ඔහු කියා සිතමින් දැයි ප්‍රේක්ෂකයන් තුල නැගෙනා ප්‍රශ්නයක්..?

ලෝක කුසලානයේ අන්ත පරාජයකට මුහුණ පා ලංකාවට ආ වනිඳු ලෝක කුසලානයක රටක් නියෝජනය කල නායකයෙකු ලෙස මාධ්‍ය වෙත පිලිතුරු දුන් හැටි ඉතා අසෝබනජනකයි.

මාධ්‍ය ඇසූ සමහර ප්‍රශ්න ඇත්තටම ලද බොලද ප්‍රශ්න වුනත් ඒ අවස්ථාව අනුව වනිඳුට මීට වඩා හොදින් මාධ්‍ය අමතන්නට තිබුනා.

ඒ එකක් විතරයි. මීට පෙර වනිඳු ඔහුගේ හැසිරීම නිසා අයි.සි.සි වරදකාරයෙකු පවා වී තිබුනා.
ඒ කල්කිරියාව නිසාම මේ වනවිට වනිඳු ප්‍රේක්ෂකයන් තුල බලවත් අප්‍රසාදයට පත් වූ ක්‍රීඩකයෙක් වී හමාරයි.
දැන් ඉන්නේ අර පරණ වනිඳු නෙමෙයි.
මේ දිනවල පැවැත්වෙන එල්.පි.එල් තරගාවලියේ වනිඳුගේ අසාමාන්‍ය ආවේගශීලිත්වය කවුරුත් කතා කරනා කරුණක්…

සමාජ මාධ්‍ය තුලින් එල්ල වෙන පීඩනය වනිඳු ගණන් ගන්නේ නෑ කියලා මාධ්‍ය වෙත මොන තරම් පුරාජේරු දෙඩුවත් ඇත්තටම දවසක් හරි සමාජ මාධ්‍ය තුලින් විවේචනයට ලක් වුනු අයෙක් තමයි දන්නේ ඒ තුලින් එල්ල වෙන පීඩනය මොන තරම් ප්‍රභලද යන්න.

ඒ පීඩනය වගේම ඔහුට ලැබෙන අමතර පීඩනයන් ඔහු දැන් පිට කරන්නට හදන්නේ ක්‍රීඩා පිටිය තුල,
මෙය එතරම් හොඳ දෙයක් නෙමෙයි !

මේ තුලින් වනිඳු හසරංග නම් කලකදී ප්‍රේක්ෂක ආකර්ෂණය සහ ආදරය බොහෝ සෙයින් දිනාගත් ක්‍රීඩකයා විනාශ කර ගන්නේ තමන් සතුව ප්‍රේක්ෂකයන් තුල තිබූ ආදරය සහ ගෞරවයයි.
මේ වනවිට වනිඳු කරමින් සිටින්නේ ඒක !

ඔහු තුල තිබෙන පීඩනය කොතරම්ද කියා ඔහු ක්‍රීඩා පිටිය තුල හැසිරෙන විදිහෙන් මනාව පැහැදිලි වෙනවා.
මෙවැනි පීඩනයට නතු වූ එකම ක්‍රීඩකයා වනිඳු නෙමෙයි. මීට මාස කිහිපයකට පෙර හර්ඩික් පාණ්ඩ්‍ය මීටත් වඩා ලොකු ප්‍රේක්ෂක විරෝධයකට මුහුණ දුන්නා.
හැබැයි පාණ්ඩ්‍ය හරි අපූරුවට ඒ පීඩනය දරා ගත්තා.
පාලනය කරා…

සමහර ක්‍රීඩකයින් ඔවුන්ට දරාගත නොහැකි මානසික පීඩනයක සිටින විට ක්‍රීඩාවෙන් ටික කලකට ඈත් වී ඊට අදාල වෛද්‍ය උපදෙස් ලබාගෙන නැවතත් සුපුරුදු මානසිකත්වයෙන් පැමිණ දක්ෂතා දැක්වුවා.
වනිඳුටත් මේ වනවිට එවැනි උපදේශයක් අවශ්‍යයි.

ක්‍රීඩකයෙකු ලෙස ඔබ කොතරම් දක්ෂයෙකු වුනත් ඔබ ක්‍රීඩාව තුල පෙන්වන හැසිරීම සහ ඔබට ආදරේ කරනා ප්‍රේක්ෂකයන්ට ලබා දෙන වටිනාකම අනුව ඔබට ඔවුන් පැලදූ රාජ ඔටුන්නට පයින් ගසන්නට ප්‍රේක්ෂකයන්ට යන්නේ ඉතා සුලු වෙලාවක් පමණයි.

වනිඳුට වෙලා තියෙන්නෙත් ඒකයි !
ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා දක්වද්දි යහමින් මුදල් ලැබෙන විට ඒ මුදල් නිසි පරිදි කළමණාකරණය කරමින් ක්‍රීඩාවට දක්වන සාධාරණය වගේම,

නායකයෙක් ලෙස පිටිය තුල සහ පිට හැසිරෙන විදිහ , මාධ්‍ය භාවිතය වගේම ප්‍රේක්ෂක ආදරය රදවා ගන්නා විදිහ ඔහු වගේ අනිත් ක්‍රීඩකයින් ද ඉගෙනගත යුතුයි.

ඒ බව තේරුම් අරන් තියෙන ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙවර වයස අවුරුදු 19න් පහල ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම එංගලන්ත සංචාරයට යන්නට පෙර විශේෂ වැඩමුළුවකට පවා යෙදෙව්වා.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ වැරදිම විතරක් කතා නොකර මෙවැනි හොඳ දේවල්ද අපි අගය කල යුතුයි.
නමුත් ඒ වැඩමුළු මේ පොඩ්ඩන්ට පමණක් නොව වත්මන් ජාතික කන්ඩායමේ ක්‍රීඩකයින්ටද අවශ්‍ය වෙනවා.
එසේ නොකර ඒ පොඩි එවුන් ටිකත් මේ ගඳ ගහන විනයක් නැති ජරා ගොඩටම වැටුනොත් ඔවුන්ටද වවුලගේ මගුල් ගෙදර ගිය උන් මෙන් ඉන්නට වෙනවා.

ඒ නිසා මහත්මාවරුන්ගේ ක්‍රීඩාව ලෙස හදුන්වන්න මේ ක්‍රිකට් ක්‍රීඩාව කරමින් රටක් නියෝජනය කරන ක්‍රීඩකයින් ලෙස සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින්ට විනය කියන සාධකය ගැන දෙවරක් නොව තෙවරක් සිතන්නට වෙනවා.
මන්ද ඔබගේ හැසිරීම් තුලින් විනාශ වන්නේ ඔබ සාදාගත් ප්‍රතිරූපය පමණක් නොව රටේ මිලියන 22කගේ ගෞරවය බව සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් හොදින් මතක තබා ගතයුතු වෙනවා.
✍ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
13
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button