Cricket NewsEXCLUSIVE

“මැතිව්ස්ට, භානුකට වගේම නවකයන්ටත් ලෝක කුසලාන සංචිතයට එන්න පුළුවන්, අපි ලෝක කුසලානයට යවන්නේ හොඳම බුලට් 15ක්” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

මෙම වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කෙරෙන ශ්‍රී ලංකා සංචිතයට එක්වීම සඳහා මේ දිනවල ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය බෙහෙවින් උපකාර විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටිනවා.

ඒ අනුව හෙට දිනයේදී (11වැනිදා) ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වන තරග පහකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයන් දක්වන දක්‍ෂතාවලට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට නියමිතව ඇති නමුත් මෙම මස අග භාගයේදීම ආරම්භවන ඉන්දීය විස්සයි-20 තරගාවලියේදී හා ඉදිරියේදී පැවැත්වෙන එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනෙන දක්‍ෂතා දක්වන්නන්ටත් ලෝක කුසලානයට යන සංචිතයට එක්වීමට හැකියාවක් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

“ඕස්ට්‍රේලියාවේ තණතීරුවල දක්‍ෂතා දක්වන ක්‍රීඩකයකු අපිට ඉතාමත් වටිනවා. ඒ මොකද කිව්වොත් ඉදිරි විස්සයි-20 ලෝක කුසලානය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා ඉදිරියේදී ආරම්භ වන විස්සයි-20 තරගාවලියේ දක්‍ෂතා දක්වන්නන් පිළිබඳව අපි වැඩි අවධානයක් දක්වනවා.

ඒත් මෙම තරගාවලියේදී දක්‍ෂතා දක්වන්න බැරි වුණා කියලා කිසිම ක්‍රීඩකයකු අපි එකවරම අතහැර දමන්න හැකියාවක් නැහැ. ඒ අයට වගේම මෙම කණ්ඩායම ඇතුළට එන්න බැරි වුණ අයටත් ඉදිරි තරගාවලි හරහා විස්සයි-20 ලෝක කුසලාන සංචිතයට එක්වෙන්න පුළුවන්.

උදාහරණයක් විදියට කියනවා නම් මෙම විස්සයි-20 තරගාවලියට ඇතුළත් නොවුණු භානුක රාජපක්‍ෂට, ඇන්ජිලෝ මැතිව්ස්ක්, කුසල් ජනිත් පෙරේරාට වගේම නවකයකුට වුණත් දක්‍ෂතා දක්වලා ඇතුළට එන්න පුළුවන්”

“මෙම තරගාවලියෙන් පස්සේ ඉන්දියාවේදී විස්සයි-20 තරගාවලියක් තියෙනවා. ඒ වගේම එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය තියෙනවා. මේ තරගාවලි හරහා ඔවුන්ට හැකියාවන් පෙන්වන්න පුලුවන්.

එතැනදී සුවිශේෂී දක්‍ෂ තා දක්වන අය අහක දමන්න අපිට හැකියාවක් නැහැ. හැබැයි ඔය කවුරු එන්න හැදුවත් ශාරික යෝග්‍යතාවය 100%ක් තිබුණොත් විතරයි ඇතුළට එන්න අවස්ථාව තියෙන්නේ. ඒ කියන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ සමත්විය යුතුමයි කණ්ඩායම ඇතුළට එන්න”

ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සාර්ථකව මුහුණ දීම සඳහා ගෙන ඇති සැලසුම් සම්බන්ධයෙන්ද තේරීම් කමිටු සභාපතිවරයා දැරුවේ මෙවන් මතයකි.

“මෙහෙමයි. දීර්ඝ කාලීන සැලසුමකටයි අපි ආවේ. අපි ප්ලේය බිහිකරන්නේ අද හෙට කණ්ඩායමෙන් යන්න නොවෙයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුගෙන් කණ්ඩායමට සේවයක් ලබාගන්න ගමන් දක්‍ෂ නවකයන්ට කණ්ඩායම ඇතුළට එන්න ප්ලෑනක් අපිට තියෙනවා. ඒ කියන්නේ එක ස්ථානයක් ආවරණය කිරීම සඳහා අපි අඩුම වශයෙන් ක්‍රීඩකයන් (shadow players) තිදෙනකු හදාගෙන යනවා.

උදාහරණයක් විදියට කිව්වොත් ආරම්භක පිතිකරුවන් තිදෙනකු හෝ සිවුදෙනකු, අංක 1 ස්ථානයට තුන් දෙනකු අංක 2 ස්ථානයට ක්‍රීඩකයන් තිදෙනකු හෝ ඊට වැඩියෙන් වශයෙන් අපි ක්‍රීඩක පිරිසක් සොයාගෙන ඉන්නවා. ඒක වැදගත් වෙන්නේ අද හෙට නොවෙයි.

එතැනදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු කණ්ඩායම හැර ගියාට ඒක කණ්ඩායමට ලොකු ප්‍රශ්නයක් නොවෙන්නයි මේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන්නේ. ඔය හැම දෙයක්ම කරලා 2022 විස්සයි-20 ලෝක කුසලානයට හොඳම බුලට් 15ක් යවන්න අපි දැන් ඉඳලම ප්ලෑන් ගහනවා”

– විශේෂ ස්තුතිය මව්බිම පුවත්පත සහ කතෘ විචිත්‍ර වීරසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button