Cricket GossipCricket NewsEXCLUSIVEPremier LeagueT10 League

ගෝල් මාවල්ස් හිමිකරුට ඇප – රටින් පිටවීම තහනම්

“ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට බලපෑම්  කලේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි   “ගෝල් මාවල්ස්” කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා  දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  මහතා  ඊයේ (20) නියෝග කළේය.

ඉන්දීය ජාතික ප්‍රේම් මතීස් කටර් නම් වන මෙම සැකකරුට රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප හා ලක්ෂ 50 ක් බැගින් වූ ශරීරය ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා   සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය. සැකකරු සෑම බදාදා දිනකම ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ පෙනී සිටිය යුතු බවටද නියෝග කළේය.

“ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී  තරග  පාවාදීම සඳහා බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකුට යෝජනාවක් කිරීම සම්බන්ධයෙන්  සැකකරු පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු  නම් කරන අවස්ථාවේදී අසාර්ථක අයුරින් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 15,000  ලබා දෙන බවත්, සැකකරු නම් කරන පන්දු යවන්නෙකුට එක් ඕරයක් ලබා දුනහොත් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලක් ගෙවීමට සූදානම් බවත් සඳහන් කරමින් තරග පාවාදීමට යෝජනා කර තිබේ. මෙම යෝජනා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයට හේතුවන බැවින් ඔහුට එරෙහිව මෙම විමර්ශනය පැවැත්වේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් සැකකරු පාපොච්චාරණයක්ද කර විමර්ශනයන්ට සහාය දක්වා  ඇති බැවින් ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර සැකකරු යළි අධිකරණයට ගෙන්වා ගැනීමේ  හැකියාව තිබෙන ආකාරයට ඇප නියම කරන ලෙසත් විදෙස් ගමන් තහනම් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

2019 අංක 24 දරණ ක්‍රීඩා පනත ප්‍රකාරව තරඟ පාවාදීම සම්බන්ධයෙන් සැකකරු ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දෙපාර්ශවීය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරමින් විමර්ශන ප්‍රගතිය ජනවාරි 27 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කළේය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා, නීතිඥ විශ්ව ලිවේරා ද ෆොන්සේකා, නීතිඥ නිරන්ජන් ඊරියගොල්ල,  නීතිඥ අජිත් වික්‍රමසිංහ සහ  වසීම් හුල් අක්‍රම් යන නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button