අපේ කාන්තා ටීම් එක ඇතුලේ කාටවත් නෙගිටිව් දේවල් කතා කරන්න තහනම් – චමරි අතපත්තු

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා නායිකාව සඳහන් කළාය. එමෙන්ම කණ්ඩායම තුළ අසුබවාදී දේ කතා කිරීම සියලු ක්‍රීඩිකාවන්ට හා කාර්ය මණ්ඩලයට තහනම් කොට තිබීමත් සාර්ථකත්වයට හේතුවක් බව ඇය පෙන්වා දුන්නාය.
“අපේ කාන්තා ටීම් එක ඇතුලේ කාටවත් නෙගිටිව් දේවල් කතා කරන්න තහනම්. ඒක ක්‍රීඩිකාවන්ට පමණක් නොවෙයි. පුහුණුකරුවන්ගේ ඉදලා සියලු දෙනාටම පොදුයි“චමරි අතපත්තු පැවැසූවාය.
ඇය මේ බව පැවැසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අනුග්‍රාහකයා හඳුන්වා දීම වෙනුවෙන් ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. මෙරටට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහකත්වය නිපෝන් පේන්ට්, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී ‘හොනර්‘ හා සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම විසින් ලබාදී ඇත.