Cricket NewsEXCLUSIVEInternational

‘මා නිසා 2019 ලෝක ශූරතාව නවසීලන්තයෙන් උදුරා ගත්තා’ – මැතිව්ස්ව ‘ටයිම් අවුට්’ විනිසුරුගෙන් පාපෝච්චාරණයක්

වසර 2019දී එංගලන්තයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්තය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට එංගලන්තය සමත්වූයේ තමන් අතින් වූ බලවත් වැරදි දෙකකින් බව දකුණු අප්‍රිකා විනිසුරු මාරායිස් එරාස්මස් පවසයි.

වසර 5කට පසු තමන් අතින් සිදුවූ වැරදි පිළිගත් විනිසුරුවරයා මෙයට මාස කිහිපයකට පෙර ඉන්දියාවේදී නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දී පිටියෙන් එළියට දැමූ ආකාරය පිළිබඳ වචනයක් හෝ කතා කර නැත.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී පැවැති නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර, 2 වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු පසුගියදා විනිසුරු දිවියෙන් සමුගෙන ගියපසු ඩේලි ටෙලිග්‍රාෆ් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී 2019 ලෝක කුසලාන අත්වැරදීම් සම්බන්ධයෙන් පාපෝච්චාරණයක් කර ඇත.

විනිසුරු මාරායිස් එරාස්මස් මෙම හෙළිදරව්වෙන් කියා සිටියේ තමාගේ වැරදි දෙක හේතුවෙන් නවසීලන්තයෙන් ලෝක ශූරතාව උදුරා ගත් ආකාරයයි. “නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර් වැරදි ලෙස කඩුල්ල මුවා කිරීමේ වරදට දවාලීම ගැන මම කනගාටු වෙනවා. පන්දුව පෑඩ් එක උඩින් වැදුණා. මේක මුළු තරගාවලියේම මගෙන් වූ පළමු වැරැද්ද. ඒක නිසා පස්සේ මට ගොඩක් දුක හිතුණා. අනෙක් වැරැද්ද ලකුණු 5ක් දිය යුතු අවස්ථාවේ ලකුණු 6ක් දීමයි. මම එහෙම නොකළා නම් ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. එහෙනම් ඇතැම් විට නවසීලන්තය කප් එක අරන්” එරාස්මස් පැවසීය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 241ක් රැස් කළ අතර, ලකුණු 242ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිලද ඒ ආසන්නයටම පැමිණියේය. ජයග්‍රහණය උදෙසා අවසන් පන්දු 3ට ලකුණු 9ක් අවශ්‍ය විය. සිවුවැනි පන්දුව ‘මිඩ් විකට්’ දෙසට එල්ල කළ ස්ටෝක්ස් දෙවැනි ලකුණ ලබා ගැනීමට දිව ගිය අතර, මාටින් ගප්ටිල් කඩුල්ල වෙත පන්දුව දමා ගැසුවේය. එම පන්දුව ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාවෙන් පිටතට ගියේය. එහිදී විනිසුරුවන් ලෙස කටයුතු කළ මාරායිස් එරාස්මස් සහ කුමාර් ධර්මසේන කතාකර එංගලන්තයට ලකුණු 6ක් ලබා දුන්හ. ඉන් අනතුරුව එංගලන්තය ලකුණු සම කළ අතර, සුපිරි ඕවරයේදී ද ලකුණු සම විය. එබැවින් එල්ල කළ වැඩිම හයේ හා හතරේ පහර අනුව එංගලන්තයට ශූරතාව පිරිනැමුවේය.

මෙම සිද්ධිය විශාල මතභේදයකට තුඩු දුන් අතර, එදින අයිසීසී විනිසුරු, නීති උප කමිටුවේ සාමාජිකයකු වන සයිමන් ටොෆල් මහතා පැවසුවේ විනිසුරුවන් නීතියට අනුව ක්‍රියා කළා නම් ලෝක කුසලානය හිමි වන්නේ නවසීලන්තයට බවය. එබැවින් විනිසුරු මාරායිස් එරාස්මස් අද සිදුකරන පාපෝච්චාරණය විවාදයකින් තොරව පිළිගත හැක. එදින අවසන් මහා තරගයේදී බෙන් ස්ටොක්ස් නවසීලන්ත කණ්ඩායමෙන් සමාව අයැද සිටි අතර, තරගයෙන් අනතුරුව ඔහු පවසා සිටියේ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගෙන් තමන් ජීවිතාන්තය දක්වා සමාව අයැද සිටින බවයි. එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය.

වසර 146ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ නියමිත වේලාවට තණතිල්ලට පැමිණ පන්දුවට පහර නොදීමේ චෝදනාව මත (Timed Out) දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳට ද තව ටික දිනකින් විනිසුරු මාරායිස් එරාස්මස් පාපෝච්චාරණයක් කළහොත් පුදුමයට පත්විය යුතු නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button