Cricket NewsEXCLUSIVEInternational

19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට ඇරඹේ

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට (30 වැනිදා) ආරම්භ වන අතර එහිදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිලට සහ දකුණු අප්‍රිකානු යොවුන් පිලට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටිති. 

සුපිරි 6 දෙනාගේ වටය ආරම්භ කරමින් අද දිනයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කිම්බර්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිලට එරෙහිව තරග වදිනු ඇත. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම ජේ.බී. මාක්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස 2 වැනිදාය.

තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගි වූ අතර ඔවුන් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ තරග වැදිණ. මූලික වටය අවසානයේ එම කණ්ඩවල පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

ඒ අනුව සුපිරි 6 දෙනාගේ වටයට කණ්ඩායම් 12 ක් සුදුසුකම් ලැබූ අතර ඔවුන් පළමු සහ දෙවැනි ලෙස කොටස් 2 ක් යටතේ තරග වදිනු ඇත. ‘ඒ’ කාණ්ඩයෙන් ඉන්දියාව, බංග්ලාදේශය සහ අයර්ලන්තයත්, ‘ඩී’ කාණ්ඩයෙන් පාකිස්තානය, නවසීලන්තය සහ නේපාලයත් සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කොටසට ඇතුළත්ව සිටියි.

‘බී’ කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිලත්, ‘සී’ කාණ්ඩයෙන් ඕස්ටේ්‍රලියාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිලත් සුපිරි 6 දෙනාගේ වටයේ දෙවැනි කොටසට ඇතුළත්ව සිටියි. සුපිරි 6 දෙනාගේ වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 2 කට බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. අනතුරුව පළමු සහ දෙවැනි කොටස්වල මුල් ස්ථාන 2 ට පත්වන කණ්ඩායම් 4 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

පළමු කොටසේ පළමු ස්ථානය සහ දෙවැනි කොටසේ දෙවැනි ස්ථානය අතර පෙබරවාරි මස 6 වැනිදා තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වේ. පෙබරවාරි මස 8 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ පළමු කොටසේ දෙවැනි ස්ථානය සහ දෙවැනි කොටසේ පළමු ස්ථානය අතරය. එම තරගවලදී ජය ලබන කණ්ඩායම් පෙබරවාරි මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට පිවිසෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button