Cricket NewsEXCLUSIVEInternational

පෙරලිකාර ඇෆ්ගන් කණ්ඩායම අද ශ්‍රී ලංකාවට පැමිණේ – වසර 2කට පසු කමිඳු ටෙස්ට් කණ්ඩායමට

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර කුළුදුල් ටෙස්ට් තරගයට, තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට හා විස්සයි20 තරගාවලියට සහභාගීවීමේ අපේක්ෂාවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිල අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට ළඟාවන ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ පුහුණු තරගයක් නොමැතිවම ලබන 2 වැනිදා එස්එස්සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් තරගයට සහභාගී වේ.

පෙබරවාරි 9, 11 හා 14 දිනවල මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දිවා – රාත්‍රී එක්දින තරග තුන පැවැත්වෙන අතර, පෙබරවාරි 17, 19, හා 21 දිනවල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ රාත්‍රි කාලයේ විස්සයි20 තරග 3 පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉන්දියාවේදී දින කිහිපයකට පෙර නිමාවූ විස්සයි20 තරගාවලියේදී සටන්කාමී ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කළ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ එම තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත් වුවද, ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූහ. අවසන් විස්සයි20 තරගයේදී ඉන්දියාව ලකුණු 212ක් වාර්තා කළ අතර, ඇෆ්ගනිස්තානය එම ලකුණු ගණන සමකොට සුපිරි ඕවර් දෙකේදී ඉන්දියාවට ප්‍රබල තර්ජනයක් ලබා දුන්නේය.

ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාව සමඟ තවමත් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කොට නැති අතර, ඔවුන් ක්‍රීඩා කොට ඇති මුළු ටෙස්ට් තරග ගණන 7ක් වැනි අවම සංඛ්‍යාවකි. එයින් අයර්ලන්තය හා බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරග දෙක ඇෆ්ගනිස්තානය ජයගත් අතර, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ හා බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරග 4ක් පරාජයට පත්ව තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති සිම්බාබ්වේ සමඟ ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ඇෆ්ගනිස්තාන පිලේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වී දින හතකට පසුව පෙබරවාරි 28 සහ මාර්තු 3 අතර එක් ටෙස්ට් තරගයක් සඳහා අයර්ලන්තයේ සත්කාරකත්වය දරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත.

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තෝරාගෙන ඇති අතර මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කොට ඇත.

ටෙස්ට් පිලේ නව නායක ධනංජය ද සිල්වා සමඟ උප නායක කුසල් මෙන්ඩිස්, හිටපු නායකයින් වන දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් යන ජ්‍යෙෂ්ඨයින් තිදෙනාද සංචිතයට ඇතුළත්ව සිටිති.වසර 2කට පසු යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට එක්ව සිටින අතර, නිශාන් මධුෂ්ක සහ සධීර සමරවික්‍රම කඩුලු රකින්නන් ලෙස සිටිති. ළහිරු උදාර, මිලාන් රත්නායක සහ චාමික ගුණසේකර ද සංචිතයට ඇතුළත්ව සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button