තත්පර 60කදී ඕවරය ආරම්භ වී නැත්නම් ලකුණු 5ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වෙයි
සීමිත ඕවර ක්‍රිකට් තරගවලදී එනම් එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරග ආකෘතිවල නව ඔරලෝසු රීතියක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වෙයි. මෙම රීතිය එක්දින සහ විස්සයි 20 ආකෘති දෙකෙහිම කාලය කළමනාකරණය සඳහා අදාළ වන බව අයිසීසීය සඳහන් කර සිටී.
නැවතුම් ඔරලෝසු රීතියට අනුව පන්දු යැවීමේ කණ්ඩායම ඕවරයක් නිමවා ඊළඟ ඕවරය තත්පර 60ක් ඉක්මවා යෑමට පෙර ආරම්භ කළ යුතුය. එසේ කිරීමට අපොහොසත් වන කණ්ඩායමට දඩයක් නියම කරනු ලැබේ.
පිටියේ විනිසුරු විසින් තත්පර 60කින් ඕවරය ආරම්භ නොවන පළමු අවස්ථා දෙකේදී අනතුරු ඇඟවීම් 2ක් ලබා දෙනු ඇත. ඉන් පසු සිදු කරන තෙවැනි වරදේ දී පන්දු යවන කණ්ඩායමට ලකුණු 5ක දඩයක් නියම කොට පන්දුවට පහර දෙන කණ්ඩායමට එම ලකුණු එකතු කෙරේ.
සෑම ඕවරයකින්ම පසු ක්‍රීඩාංගණයේ සවි කර ඇති රූපවාහිනී තිරවල තත්පර 60ක ගණන් කිරීම තුන්වන විනිසුරු පාලක මැදිරියේ සිට සිදුකරනු ලබයි. එය දැනට ක්‍රියාත්මක රූපවාහිනී විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය (DRS) සිදු කරන ආකාරයට සමාන වේ. ලබන ජුනි මාසයේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී මේ ඔරලෝසු රීතිය ස්ථීරව ආරම්භ කිරීමට අයිසීසීය කටයුතු යොදා ඇත.
පිතිකරුවෙක් පෙර කඩුල්ල බිඳ වැටීමෙන් තත්පර 90ක් ඇතුළත පිටියට පිවිසිය යුතු හෙයින් පිතිකරණ කණ්ඩායම සඳහා ද එවැනිම රීතියක් දැනට ක්‍රියාත්මක වේ. එවැනි අවස්ථාවකදී පන්දු යැවීමේ කණ්ඩායම අභියාචනා කිරීමට තීරණය කළහොත් පමණක් පිතිකරුවාගේ දැවී යෑම තීරණය කළ හැකිය. පසුගිය වසරේ ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලානය අතරතුර, බංග්ලාදේශයේ අභියාචනා කිරීම හේතුවෙන් කල් ඉකුත් වූ පළමු ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත්විය.