Cricket NewsEXCLUSIVEInternational

ටිම් සවුති ජයග්‍රාහීව සමුගනී.

හයේ පහර 100 වාර්තාව කරා යාමට බැරි වූවත් සිය අවසන් ටෙස්ට තරගයේදී එංගලන්තය ලකුණු 423 කින් පරාජය කළ හැකිවූ බැවින් ටිම් සවුතිට සුන්දර සමුගැනීමක් හිමිවිය. නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 107 කට ක්‍රීඩා කළ වේග පන්දු යවන්නා ටෙස්ට් පිටියෙන් සමුගත්තේ කඩුලු 391 ක් දවාගැනීමෙන් පසුවය. ඔහු නවසීලන්ත පිලේ හිටපු නායකයා ද විය.

සිව්වැනි ඉනිමේදී ලකුණු 658 ක ඉල්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 234 තට දැවී ගියේය. හැමිල්ටන්හි සෙඩෑන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම ටෙස්ට් තරගයේ නිමාවත් සමගින් එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති තරගාවලියේ ජය 2-1 ක් ලෙසින් එංගලන්තයට හිමිවිය. ටෙස්ට් පිටියෙන් සමුගත් ටිම් සවුති, සෙසු ක්‍රීඩකයන් අතර පෙරමුණ ගනිමින්, තමන්ගේ ප්‍රාන්ත ක්‍රීඩාංගණයද වන සෙඩෑන් උද්‍යාන පිටියෙන් පිටතට ගියේය.

නවසීලන්ත මුල් ඉනිමේදී ගැසූ හයේ පහර දෙකත් සමගින් සිය ටෙස්ට් දිවියේදී ටිම් සවුති ගැසූ හයේ පහර සංඛ්‍යාව 98 ක් වී තිබිණ. දෙවැනි ඉනිමේදී තවත් හයේ පහර දෙකක් ගැසිය හැකිවූයේ නම් ටෙස්ට් තරග වලදී හයේ පහර 100 ක් ගැසූ පිතිකරුවන් අතරට එක්වීමට ටිම් සවුතිට අවස්ථාව තිබූ නමුත් දෙවැනි ඉනිමේදී සවුති ලකුණු 02 කට දැවී ගියේය. ටෙස්ට් තරග වලදී වැඩිම හයේ පහර සංඛ්‍යාව (133) ගැසූ පිතිකරුවාගේ වාර්තාව එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් හිමිකරගෙන සිටී.

මෙම ජයග්‍රහණය, ලකුණු සංඛ්‍යාව අනුව, නවසීලන්තයේ විශාලතම ටෙස්ට් ජයග්‍රහණය සම කිරීමක් ද විය. ජේකබ් බෙතීල් (76) සහ ජෝ රූට් (54) දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත් රූට් දැවී යාමෙන් පසුව ලකුණු 112 ක් ඇතුළත එංගලන්තයේ කඩුලු 8 ක් දැවී ගියේය. තරගයේ වීරයා වූ මිචෙල් සෑන්ට්නර් (85/4) හමුවේ අවසන් කඩුලු 4 ලකුණු 19 කට ඇද වැටිණ.
එංගලන්තයට අත්වන ඉරණම කලින්ම දැන සිටි නායක බෙන් ස්ටෝක්ස් සිය කලව පසුපස මස්පිඬුවේ ආබාධය හේතුවෙන් පන්දුවට පහර දීමෙන් වැළකී සිටියේය.

සෙඩෑන් උද්‍යාන පිටියේදී නවසීලන්තය සතුව ඇත්තේ අපූරු වාර්තාවකි.

වසර 2012 සිට මෙම ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරග 10 කින් 8 කදීම නවසීලන්තය ජයගෙන තිබේ. එමෙන්ම මව්බිමේදී පිට පිටම ටෙස්ට් තරග 4 ක් පරාජය වී සිටි නවසීලන්තය, හැමිල්ටන් පිටියේදී එය නතර කරගත්තේය.

එංගලන්තයට නම් ගෙවී යන වසර එතරම් සාර්ථක එකක් නොවීය. මේ වසරේදී ටෙස්ට් තරග 17 කට සහභාගි වූ ස්ටෝක්ස් ඇතුළු පිරිවර ඒවායින් තරග 9 ක් ජයගත් නමුත් 8 ක් පරාජය වී තිබේ. කෙසේ වෙතත් එංගලන්තය ජයගත් තරග 9 ට ප්‍රධානතම හේතුව වූයේ ඔවුන්ගේ ආක්‍රමණශීලී පිතිහරඹ රටාව හෙවත් ‘බස්බෝල්’ ක්‍රිකට් කලාවයි.

නවසීලන්තය – පළමු ඉනිම 347 යි
එංගලන්තය – පළමු ඉනිම 143 යි
නවසීලන්තය – දෙවැනි ඉනිම 453 යි
එංගලන්තය – දෙවැනි ඉනිම 234 යි

(ජේකබ් බෙතීල් 76, ජෝ රූට් 54, ඔලී පෝප් 17, ගස් ඇට්කින්සන් 43, බ්‍රයිඩන් කාර්ස් 11, මැතිව් හෙන්රි 62/2, ටිම් සවුති 34/2, මිචෙල් සෑන්ට්නර් 85/4)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button