Cricket NewsEXCLUSIVEMatch Review

ධනංජයගේ සටන්කාමී පිතිකරණයත්, ඇඹුල්දෙණියගේ සුපිරි සහයත් සමග පැතුම්ගේ ඉවසිලිවන්ත ඉණිම සිව් වන දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට අත් කර දෙයි.!

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි.

ගාලු තණතීරුව තුල තෙවැනි හා සිව්වැනි දිනය යනු තරඟයේ තීරණාත්මක දින දෙකක් වන අතර එම දින දෙකම අවසානයේදී සාර්ථක මට්ටමකට ශ්‍රී ලංකා කණ්ඩායම එක් ක්‍රීඩකයෙකු වටා ගොනුවෙමින් ගෙන ඒමට සෙසු ක්‍රීඩකයන් සමත් විය.

කොදෙව් ක්‍රීඩකයන් පළමු ඉනිමේ ලැබූ ලකුණු 49 ක වාසියද සමඟින් නැවතත් සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එරෙහිව සාර්ථක වන්නට කොදෙව් ක්‍රීඩකයන් හට අවකාශය ලැබුණි.

සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ වන විට කඩුල්ලේ රැඳී සිටි චරිත් අසලංකව ලකුණු 19 කට දවාගන්නට වීරසාමි පර්මෝල් සමත් වීය. ඉන් අනතුරුව අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සමඟින් ධනංජය ද සිල්වා ගොඩනැඟූ ලකුණු 78 ක සබඳතාවය ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කලේය.

පිටියේ එක් අන්තයක ස්ථාවරව සිටි පැතුම් නිස්සංක සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 66 කට රොස්ටන් චේස්ගේ පන්දුවක් ඉදිරියේ දැවී යාමත් සමඟ තරඟය නැවතත් කොදෙව් ක්‍රීඩකයන් දෙසට දෝලනය විය.

යලිත් වරක් අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල් ද ලකුණු 2 කට දැවී ගියේ නම් දැරූ අවසාන පිතිකරුවාද වෙමිනි.සිය අවසන් ටෙස්ට් ඉනිම් 16 තුලදීම අර්ධ ශතක දෙකක් පමණක් චන්දිමාල් වාර්ථා කිරීමට සමත්ව ඇති අතර ඔහු කොතෙක් දුරට අත්දැකීම ප්‍රයෝජනයට ගත්තාද යන්න පිලිබඳව විශාල ප්‍රශ්නාර්ථයක් යලිත් ඉතිරි කලේය.

ඉන් අනතුරුව අන්තයක හුදෙකලා වූ ධනංජයද සිල්වා පසුපෙල පිතිකරුවන් සමඟින් එක්ව කඩා වැටුණු ඉනිමට අඩිතාලමක් දමන්නට සමත් විය.

6 වැනි කඩුල්ල සඳහා පිටියට එක්වූ රමේශ් මෙන්ඩිස් සමඟින් එක් වූ ධනංජය ද සිල්වා ලකුණු 51 ක සබඳතාවයක් ගොඩනගන්නට සමත් විය. ක්‍රේග් බ්‍රැත්වෙයිට්ගේ පන්දුවක් ඉදිරියේ රමේෂ් මෙන්ඩිස් ලකුණු 25 කට දැවී ගියේ මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි කෙමා රෝච් වෙතට උඩපන්දුවක් ලබාදෙමිනි.

පළමු ඉනිමේදී ආබාධයකට ලක්ව පිතිකරණය ලැයිස්තුවේ පහතට ගොස් ක්‍රීඩා කිරීමට සිදු වූ ඇන්ජලෝ මැතිව්ස්ට මෙන්ම සුරංග ලක්මාල්ටද සාර්ථක වන්නට කොදෙව් දඟපන්දු යවනන් ඉඩ ලබානොදුන් අතර මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 221 ක් වෙද්දී ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයේ අසුන් වෙත හරවා යවන්නට කොදෙව් පන්දුයවන්නන් සමත් විය.

පන්දුවාර 85 ක් අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 221 ක් ව තිබූ ලකුණු පුවරුව යලිත් ශ්‍රී ලංකාව දෙසට හරවා ගන්නට ධනංජය ද සිල්වාගේ ඉවසිලිවන්‍ත පිතිකරණයට අවකාශය ලැබුණි.

9 වැනි කඩුල්ල සඳහා පිටියට එක්වූ ලසත් ඇඹුල්දෙනිය සමඟින් එක්වූ ධනංජය ද සිල්වා සිව්වැනි දිනය අවසන් වන විට නොබිඳුණු ලකුණු 107 ක සබඳතාවයක් 9 වැනි කඩුල්ල සඳහා ගොඩනගන්නට සමත් විය.

මුල් පෙල පිතිකරුවන්ගෙන් නොදුටු ඉවසිලිවන්ත පිතිකරණයක ලසත් ඇඹුල්දෙනිය නිරත වීමත් සමඟින් ධනංජයද සිල්වා සිය ටෙස්ට් පිටියේ 8 වැනි ශතකය ලබාගන්නට සමත් විය.

දිනය නිමාවන විට කඩුලු 8 ක් පමණක් දැවී ලකුණු 328 ක් රැස් කරගනිමින් කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 279 ක් ඉදිරියෙන් සිටින්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය නොදැවී ලකුණු 153 ක් හා ලසිත් ඇඹුල්දෙනියද ලකුණු 25 ක් ලබා සිටියේ පන්දු 110 ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටිමිනි . පන්දු යැවීමේදී වීරසාමි පර්මෝල් කඩුලු 3 ක් බිඳදමන්නට සමත් විය.

තරඟයේ සිව්වන දිනය වූ අද දිනයේ තරඟයට වර්ෂාවෙන් කිසිදු බාධාවක් සිදු නොවූ අතර යම්හෙයකින් තරඟයේ 5 වැනි දිනයටද වර්ෂාවෙන් බාධාවක් නොවූහොත් ගාලු ක්‍රීඩාංගණය තුලදී ලකුණු 300 ක පමණ ඉලක්කයක් හඹායෑම ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ඉදිරියේ කොදෙව් පිතිකරුවන් හට අතිශය අසීරු වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button