Cricket NewsEXCLUSIVETrending Article

මහේන්ද්‍ර සිං ධෝණි ඇතුළු ප්‍රභල ඉන්දීය පිතිකරුවන් අන්ත අසරණ කරමින් 2008 ආසියානු කුසලානය කරා ශ්‍රී ලංකාව රැගෙන ගිය අජන්ත මෙන්ඩිස්ගේ මැජික් පන්දු.!

2008 වර්ෂයේ ජූලි 08

පකිස්තානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණය එදින විචිත්‍රවත් ලෙස සැරසී තිබුනේ එවර ආසියානු කුසලානයේ ශූරයින් බිහි කරමින් ආසියාවේ දැවැන්තයින්ගේ නාමපුවරුව ලොවක් ඉදිරියේ ඉස්මතු කරන්නට ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකී පරීක්ෂණය සදහා සුදුසුකම් ලබද්දී පලමු පියවර ලෙස නායක ඩෝණිගේ ඉන්දීය සේනාව පිම්මක් ඉදිරියට පනින්නේ කාසියේ වාසියේ ජයග්‍රහණය තමන් සතු කරමින් පලමුවෙන්ම පන්දුවට පහර දීමට ශ්‍රි ලංකාවට ආරාධනා කරමින් තණතිල්ලේ වාසියෙන් උපරිම ඵල නෙලා ගැනීමේ අධිඨන ඇතුව ය.

එසේ ඉන්දීය ආරාධනයෙන් පිටියට ආ සනත් ජයසූරිය සමග එක් වූ කුමාර සංගක්කාර ශ්‍රි ලංකා බලාපොරොත්තු මුල සිට ඵලදැරි කරයි යැයි ශ්‍රි ලංකා ප්‍රේක්ෂක සිත් තුල ගොනු වූයේ තරගාවලියේ මෙන්ම අතීත වාර්තාද පෙර දැරි කරගෙන ය.

කුමාර සංගක්කාරගේ පිත්ත මෙම තරගාවලියේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස අති සාර්ථකව රැව් දුන් අතර සනත් ජයසූරිය යනු ඉන්දියාව දුටු තැන පහර දෙන ඉන්දියාවටම ආවේණික වූ භයංකර හීනයක් වූ නිසාවෙනි.

එසේ පන්දුවට පහර දීමට ආ ශ්‍රි ලංකාවේ පලමු බලාපොරොත්තුව පුස් වෙඩිල්ලක් කරමිනි තරගාවලියේ එතෙක් සාර්ථක වූ කුමාර සංගක්කාරගේ කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 11ව තිබියදී සුරේෂ් රයිනාගේ අගනා පන්දු රැකීමෙන් සංගාගේ ඉනිම ලකුණු 4කට සීමා වෙන්නේ පලමු ශ්‍රි ලංකා බලාපොරොත්තුව සුනු විසුනු කරමින් ය.

ඉන් අනතුරුව සනත් සමග එක් වූ නායක මහේල ජයවර්ධනද පන්දුවාර 7යි පන්දු 2ක්ව ශ්‍රි ලංකා ඉනිම ලකුණු 34කට සටහන් වෙද්දි ඉශාන්ට් ශර්මාගේ පන්දුවකට ගොදුරක් වෙමින් ලකුණු 11කට සියල්ල අවසන් කරන්නේ ආරම්භක පිතිකරු ජයසූරිය පමණක් පිටිය මැද තනි කරමිනි.

වැඩි වෙලා යන්නට මත්තෙන් චාමර කපුගෙදර ලකුණු පහකටත් චාමර සිල්වා කිසිදු ලකුණු ලකුණක් ලබා ගැනීමට නොදී මුළු ලකුණු සංඛයාව ලකුණු 66ක් ලෙස ලකුණු පුවරුව දිස් වෙද්දී ශ්‍රි ලංකා ඉනිමේ කඩුළු 4ක් තමන්ගේ ග්‍රහණයට නතු කර ගන්නට ඉන්දීය පන්දු බල ඇණිය සමත් වෙන්නේ ඉන්දීය ජයග්‍රහණය පහසු මගක් එළිපෙහෙලි කරමින් සිංහපෝතිකයින් සම්පූර්ණයෙන්ම අසරණ කරමින් ය.

කෙසේ නමුත් ශ්‍රි ලංකා ඉනිම ආරම්භ වන්නේ ඉන් පසුව බව ඉන්දීයානුවන් කිසිසේත් සිතන්නට නැත.
ඉන්දීය ග්‍රහණයට නතු වී ඉබාගාතයේ ගිය ඉනිම ගොඩ ගන්නට ජයසූරියට අවශ්‍ය රුපුලක් ඉන් පසුව ලැබුනි.ඔහු තිලකරත්න දිල්ශාන් ය.

පස්වන කඩුල්ල වෙනුවෙන් වටිනා ශතක සම්බන්ධතාවයක් ගොඩ නැගූ ඔවුන් දෙපල ශ්‍රි ලංකා ලකුණු පුවරුව පන්දුවාර 35යි පන්දු 3 වෙද්දි ලකුණු 197ක් වෙනතුරු ඔසවා තබන්නේ එකී ලකුණු 197 තුලට සනත් ජයසූරිය නම් විනාශකාරි පිතිකරුවාගේ පිත්තට ලකුණු 125ක් එක් කරමිනි…

විටෙක අන්ත අසරණ වූ ශ්‍රි ලංකා ඉනිම ඩිල්ශාන් සමග එකතු වී ක්‍රමයෙන් ගොඩගත් සනා පන්දු 114ක් තුල ඉන්දීය පන්දු රකින්නන්ගේ ඇස් වසමින් හතරේ පහරවල් 9ක් සහ ඉන්දීය භයංකර සිහිනය නැවතත් ආවර්ජනය කරමින් පිටිය වර්ණවත් වූ අලංකාර හයේ පහරවල් 5කින් පිටිය සරසන්නේ විරේන්ද්‍ර ෂෙවාග්ගේ පන්දුවකට ගොදුරක් වෙමින් ශ්‍රි ලංකා ඉනිම ප්‍රශංසනීය තැනකට පත් කරමින් පස්වන කඩුල්ල ලෙස ක්‍රීඩාගාරයට පියනං කරමිනි.

ඉන් අනතුරුව අර්ධ ශතකයකින් ඉනිම පෝෂණය කල ඩිල්ශාන් පන්දු 74ක් තුල හතරේ පහරවල් 3ක් පමණක් එල්ල කරමින් ජයසූරියට මනා සහයක් දුන් ඉනිම ලකුණු 56කට නිමා කරන්නේ ශ්‍රි ලංකා ඉනිමේ හයවන කඩුල්ල ලකුණු 213කදි බිද වැටෙමිනි.

අනතුරුව චමින්ද වාස් ලකුණු 19කින්ද තිලින තුෂාර ලකුණු 5කින්ද අජන්ත මෙන්ඩිස් ලකුණු 8න් ද මුරලිදරන් ලකුණු 2කින් ද කුලසේකරට සහය වෙමින් දැවි යන්නේ අවසානයේ ලකුණු 29ක් පන්දු 29කට ලබාගෙන සිටි නුවන් කුලසේකර පන්දුවාර 49යි පන්දු 5කදී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 273ක් ලෙස ඔසවා තබා සියල්ලන් පිටියෙන් ඉවත් කර ගැනීමට ඉන්දීය පන්දු යවන්නන්ට අවසානයේ අවස්ථාවක් ලබා දෙමිනි.

ඒ අනුව විරේන්ද්‍ර ෂෙවාග් සමග ගෞතම් ගම්බීර් පිටියට සම්ප්‍රාප්ත වන්නේ ආසියානු ශූරයින් වීමේ මංගල්‍යයේ ඔටුන්න හිමි මනමාලයා ඔවුන් යැයි සියල්ලන් බලා සිටියදී ඔප්පුකර පෙන් වීමේ බලාපොරොත්තුවෙනි.

කෙසේ නමුත් සාර්ථක වූ චමින්ද වාස් සුපුරුදු පරිදි ආරම්භක පන්දුවාර කිහිපයේ කඩුළු දඩයමට උපන් හපන් ඔහු ගම්බීර්ගේ කඩුල්ල ලකුණු 6ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කරන්නට සමත් වන්නේ ශ්‍රි ලංකා ජය ගීතයේ තනුවට ඉඩ ලබා දෙමිනි.

ඉන් අනතුරුව ෂෙවාග් සමග යොවුන් පිතිකරු සුරේෂ් රයිනා එකතු වූ අතර ෂෙවාග්ගේ බියකරු පිතිකරනය මධ්‍යයේ ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට මදකට විරාමයක් ලබා ගැනීමට සිදු විය.

මන්ද ඒ තරමටම ෂෙවාග්ගේ පිත්ත වේගවත් වන්නට විය.ඔහු පන්දු 36කදී ලකුණු 60ක් ශ්‍රි ලංක පන්දු යවන්නන්ගෙන් උදුරා ගන්නේ ඉන්දීය ජයග්‍රාහී කාඩ් අතෙහි පලමු තුරුම්පුව ලෙස ශ්‍රි ලංකා ජයග්‍රහණයට තර්ජනයක් එක් කරමින් දර්ශනීය හතරේ පහරවල් 12කින් ඉනිම පෝෂණය කරමිනි.

ඉන්දීය ඉනිමේ 10 වෙනි පන්දුවාරය ආරම්භ විය.එය කෙතරම් ශ්‍රි ලංකා ජය රාවයට වැදගත් වූවාද කිවහොත් ජයග්‍රහණයේ රහස සැගවී තිබුනේ එතැන් පටන් ය.

පන්දු යවන්නා විජ්ජාකාර අජන්ත මෙන්ඩිස් ය.මීට පෙර මෙම තරගාවලියේ ඉන්දියාව සමග ශ්‍රි ලංකා ක්‍රීඩකයින් මුහුණට මුහුණ ගැටුනද එවර තරගය සදහා අජන්ත මෙන්ඩිස් ‍යනු කවුරුන්ද යන වග දැක බලා ගැනීමට ශ්‍රි ලංකා නායක මහේල ජයවර්ධන ඉඩ දුන්නේ නැත.ඒ මහේලගේ සූක්ෂම ජයග්‍රාහි තරග ගුන්ඩුවක් ය.

ඒ අනුව දහවන පන්දුවාරයේ දෙවන දෙවෙනි පන්දුව යොමු කල අජන්ත මෙන්ඩිස් එතෙක් ශ්‍රි ලංකා ජයග්‍රහණයට හිසරදයක් වූ විරේන්ද්‍ර ෂෙවාග්ගේ කඩුල්ල පිටියෙන් ඉවත් කරන්නට සමත් විය.

එය එතැනින් අවසන් නොවී ය.ඉන්දීය ලකුණු පුවරුව පන්දුවාර 9යි පන්දු හතරක් තුල ලකුණු 76ක් සේ දිස් වෙද්දි කිසිදු ලකුණක් නොලබා අජන්තට මුහුණ දුන් යුවරාජ් සිංද මේ අපූරූ මායාකාරයාගේ ආශ්චර්‍ය පන්දුවකට ගොදුරක් වී ඉන්දීය ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස දැවී ගියහ.

අජන්තගේ එකී සාර්ථක පන්දුවාරයෙන් නැවතත් තරගය දෙපසටම දෝලනය විය.අනතුරුව නැවතත් පන්දුව අතට ගත් අජන්ත සාර්ථක වීමට උත්සහ කල සුරේෂ් රයිනාගේ ඉනිමට තිත තබන්නේ ඔහු ලකුණු 16ක් ලබා සිටියදී ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 93ක් ලෙස දිස් වෙද්දි ඇස් ඉදිරිපිට ඉන්දීය බලාපොරොත්තු එකිනෙක සුන් කරමින් මේ අපූරු විජ්ජාකාරයා ඉන්දීය ඉනිමේ හතරවන කඩුල්ලටත් නෑකම් කියමින් ය.

එය එසේ වෙද්දි එතැන් පටන් කිසිදු ගැලවීමක් ඉන්දීය පිතිකරුවන්ට ලබා නොදීමට අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තීරණය කලහ.

ලකුණු 3ක් පමණක් ලබා සිටි රොහිත් ශර්මා ඉන්දීය ඉනිමේ පස්වන කඩුල්ල ලෙස ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 97ක් ලෙස සටහන් වෙද්දී අජන්තගේ මායාකාරි කැරම් පන්දුවේ රිදුම් අතරේ පන්දුව පා ආවරණයේ වැදී කඩුල්ල මුවා කිරිමේ වරදට හසු වී දැවි යන්නේ ඉන්දීය බලාපොරොත්තු සියල්ලන්ම කණපිට පෙරලමිනි.

කෙසේ නමුත් ඕනෑම දැඩි පීඩනයකදී පන්දුව අපූරුවට මෙල්ල කරනා අති දක්ෂයා එවරත් ඔවුන් සමග පිටියේ සිටියහ.ඒ නායක මහේන්ද්‍ර සිං ඩෝණිය.ඔහු රොබින් උතාප්පා සමග එකතු වී ඉන්දීය ඉනිම ලකුණු 135 වන තෙක් ඔසවා තබද්දී අනික් අන්තයෙන් ක්‍රියාත්මක වූ ලොව විශිෂ්ඨතම දග පන්දු යවන්නා වූ මුරලිදරන්ගෙන් උතප්පාට ගැලවීමක් නොවී ය.

එවර ආසියානු කුසලානයේ පහස ශ්‍රි ලංකාවට විදීමට මදකට පමා කල එකී සම්බන්ධතාවය කෙලවර වන්නේ ලකුණු 20ක් ලබා සිටි උතප්පා මුරලි හමුවේ දැවී යාමෙනි.

අනතුරුව ඩෝණිගේ පිත්ත තරමක් වේදනාකාරි ලෙස කතා කරන්නට ගත්තද 32වෙනි පන්දුවාරය යොමු කල අජන්ත මෙන්ඩිස් නැවතත් ඉන්දීය කතා නායකයා නිශ්ශබ්ද කරන්නේ පන්දුවාර 31යි පන්දු තුනක් අවසානයේ ඉර්ෆාන් පතාන් සහ එකී පන්දුවාරයේ ඊලග පන්දුවෙන් රූඩ්‍රා ප්‍රතාප් සිංද ආ පයින්ම ක්‍රීඩාගාරයට යවමින් ලකුණු 153ක් තුල කඩුළු අටක් දැවී යමින් ඉන්දීය ඉනිමේ බලවත්භාවය ඩෝණිගේ පිත්තට පමණක් සීමා කරමිනි.

එකී කඩුළු දඩයම එසේ නිම වෙන්නේ ශ්‍රි ලංකා ජයග්‍රහණයට අවශ්‍ය සියළු සුදුසුකම් ඒ වන විටත් අජන්ත මෙන්ඩිස්ගේ විජ්ජාකාර පන්දු සමූහය මගින් ලබා දෙමින් ය.

ඉන්දීය ඉනිමේ එතෙක් බිද වැටුනු කඩුළු අටෙන් හයකම හිමිකරුවා අජන්ත මෙන්ඩිස් වන්නේ එදා අජන්තව තේරුම් ගැනීමට නොහැකිව ඉන්දීය ප්‍රභල පිතිකරණ බල ඇණිය ලැජ්ජාසහගත ලෙස ලොවක් ඉදිරියේ අසරණ වෙමිනි.

ඉන් අනතුරුව ජයග්‍රහණය පමා කල නායක ඩෝණි ලකුණ 49කට සීමා කරමින් අර්ධ ශතකය පෙනි පෙනි වාස්ගේ පන්දුවකට දැවීයන්නේ ශ්‍රි ලංකා විජයග්‍රහණය එක්සේසත් කරමින් ය.

පන්දුවාර 39ක් අවසානයේ තුන්වන පන්දුවට ඉශාන්ට් ශර්මා නුවන් කුලසේකරට එම තරගයේ අවසාන කඩුල්ල පූජා කරන්නේ ඉන්දීය ප්‍රභල පිතිකරුවන් සියල්ල ලකුණු 173ක් මැද අසරණ කරමින් ය.

ඒ අනුව ලකුණු 100ක අතිවිශිෂ්ඨ ජයග්‍රහණයකින් එවර ආසියානු කුසලානයේ ආධිපත්‍යය ශ්‍රි ලංකාව නතු කර ගන්නේ එතෙක් මෙතෙක් ආසියානු කුසලානයක පෑ අති විශිෂ්ඨ අවසානයක් සනිටුහන් කරමිනි.

පිත්තෙන් කඩා වැටුනු ඉනිම ගොඩ ගනිමින් සනත් ජයසූරිය ශතක රැස් කරමින් ශ්‍රි ලංකා ඉනිම ශක්තිමත් කරද්දී විජ්ජාකාර අජන්තගේ පන්දු යැවීමෙන් පන්දුවාර 8ක් තුල එක් නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 13කට කඩුළු 6ක් සටහන් වන්නේ ශ්‍රි ලංකා පිතිකරනය පන්දු යැවීම පන්දු රැකීම සහ නායකත්වයේ උතුම් ගුණාංග එළි දක්වමින් 2008 ආසියාවේ බලවත් යෝධයින් ආසියාවේ පුංචි මුතු ඇටය බවට ලෝකයාට ඒත්තු ගන්වමින් ය.

තරගයේ වීරයා සම්මානයෙන් අජන්ත මෙන්ඩිස් පිදුම් ලබද්දී සනත් ජයසූරිය ඩිල්ශාන් මෙන්ම ශ්‍රි ලංකා සියළු ක්‍රීඩකයින් එකී ආශ්චර්‍යමත් ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්නේ එදත් අදත් ශ්‍රි ලංකා ක්‍රිකට් හදවත් තුල මතකයේ රැදෙන අති විශිෂ්ඨ ආෂ්චර්‍යමත් ජයග්‍රහණයකින් එවර අවසන් කරමින් ය…

එදා 2007 කොදෙව් දූපත් රාශියේ ක්‍රීඩාංගණ මැද සොයා යන්නට බැරි වූ කුසලානය මෙදා 2008දී ආසියාවේ බලවතා වෙමින් සොයා යන්නේ සිංහපෝතකයින් ආසියාවේ පෑ තවත් ආශ්චර්‍යමත් විජයග්‍රහණයත් එසේ ක්‍රිකට් රසික හදවත් තුලට කිදා බස්වමිනි.

එදා කතාවේ වීරයා වු අජන්ත මෙන්ඩිස් නම් විජ්ජාකාරයා අවසානයේ සිය ක්‍රිකට් නාඩගම අහවර කරන්නේ ජාත්‍යන්තර කඩුලු 278ක් බිද හෙලමිනි.

එසේම විස්සයි විස්ස සහ එක්දින තරග ආකෘති ද්විත්වයේ පලමු කඩුලු 50 ලබා ගැනීමට අඩුම ඉනිම් ගණනක් වැය කල පන්දු යවන්නා ද වූ ඔහු,

විස්සයි විස්ස පිටියේ කඩුලු හය බැගින් ලබාගත් අවස්ථා ද්විත්වයක් වාර්තා කල ලොව එකම පන්දු යවන්නා ය.

ශ්‍රි ලාංකීය මාතාව බිහි කල මැජික්කාරයා,අජන්ත මෙන්ඩිස්…!!!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button