EXCLUSIVETrending Article

“ලංකාවටම මේ ගෙනාපු සතුටට උඹට පිං දස්සා” – දසුන් ශානකගේ සුපිරි පිතිකරණයෙන් හැඩ වූ Kandy Miracle එක ගැන ක්‍රිකට් රසිකයකු තැබූ ආදරණිය සටහන.!

Kandy Miracle

පල්ලෙකැලේ ‍යනූ ග්ලෙන් මැක්ස්වෙල්ගේ සිංහ දේශයේ බල කොටුව බව නොරහසක් ය. එසේම තිලකරත්න ඩිල්ශාන් යනු පිතිකරුවෙක් ලෙස 48ක් වැනි ඉහල විස්සයි-20 පිතිකරන සාමාන්‍යයක් රඳවාගෙන සිටි පල්ලෙකැලේ පිටියේ පත්තියම් වූ කෙරුමෙක් ය.

එකල තිලකරත්න ඩිල්ශාන් යන නාමය ලෝ පුරා විචාරකයින් හැදින්වූයේ ” පල්ලෙකැලේ ‍රජු ” ලෙස ය. මන්ද එතරම් වීර ක්‍රියා ඔහු මෙම භූමි ප්‍රදේශයේ පෙන්වා ඇත.

මීට වසර කිහිපයකට පසු පල්ලෙකැලේ ‍රජුගේ පාළුව මකන්නට අද වෙනවිට පල්ලෙකැලේ හොල්මන් කරනා සිංහ සෙයියාවෙන් වැජඹෙන්නට ඔටුනු පැලඳු මාරාන්තික ප්‍රහාරකයෙක් ලකලෑස්ති වී ඇත්තේ ය.

ඒ අන් කවරෙකු නොව දවසේ කතා නායකයා වෙන දසුන් ශානකයන් ය.

ශානක යනු පල්ලෙකැලේ මාරයා වූයේ මෙකී ඉනිම නිසාම නොවේ ය. මේ තවත් එක් ඉනිමක් පමණි. මන්ද දසුන් ශානක යනු ශ්‍රි ලාංකීය ඩොමැස්ටික් කරළියේ ඉහල කෙරුම්කාරයෙක් ය. ඔහු තරම් කෙරුම්කාරයෙක් ඩොමැස්ටික් හී නොසිටි තරම් ය.

නමුත් එකී හැකියාව ජාත්‍යන්තර කරළියේ රඟ දක්වන්නට ඔහු අපොහොසත් විය. එය එසේ තිබියදී සිම්බාබ්වේ පිලට එරෙහිව සිය මංගල එක්දින ශතකය පල්ලෙකැලේට පිං සිද්ධ වෙන්නට රැස් කරගත් දසුන්ගේ ජීවිතය එතැන් පටන් වෙනස් වෙන්නට ගත්හ.

ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ඇඩම් සම්පාට අමතක නොවන හයේ පහරවල් සන්නද්ධ කල ඔහු අනතුරුව ඉන්දියාවේ IPL වීරයින්ට ක්‍රිකට් එපා කලහ.

96දා සිට කැන්ගරුවන් යනු ශ්‍රි ලාංකීය වීර සොල්දාදුවන්ගේ මායා අසිපත ය. මන්ද කෙරූ තරම් යුද්ධයන් හී නොසිතූ ජයග්‍රහණයන් ගොන්නක් රැස් කරගෙන ඇත්තේ මේ කැන්ගරු මායා අසිපතෙන් රිදුම් ලබමින් ය.

ශ්‍රි ලංකාව නම් ආසියාවේ පිහිටි කුඩා දූපතක දූපත්වාසීන් පිරිසක් ” ක්‍රිකට් ” නම් මහත්තුරුන්ගේ ක්‍රීඩාව තුලින් ලෝකයක් ආක්‍රමණය කල ඇති බවට ලෝකයාට පවසන්නේ කැන්ගරුවන් ය. ඒ 96දී ය.

එදා සිට ඇන්ජි මාලිලාගේ මෙල්බර්න් මිරැකල් සිට අසේලලාගේ අද්භූත ජයග්‍රහණයන් වලින් අද දසුන්ලාගේ වාර්තාගත ප්‍රාසාංගීය තරග නිමාවන් වටා රිදුම් දුන් හදවත් දැරූවන් වූයේ කැන්ගරුවන් ය.

ජයග්‍රහණයන් සීයයක් ලබා සැමරූ ජයග්‍රහණ වලට වඩා ජයග්‍රහණය පෙනි පෙනි ඇති තරග පරාජයේ අඳුරු සෙවණැලි වලින් වසා දමා කැන්ගරු හිත් කීතු කීතු කර දමන්නට සිංහයින් එදා සිට තවමත් රුසියෝ ය.

දිනය 2022 ජූනි මස 11 වෙනිදා ය.

එදින සෙනසුරාදාවක් වූ නිසාවෙන් පසුදා විවේකි ඉරු දින විවේකීව සිටීමේ අරමුණෙන් සෙනසුරාදා සන්ද්‍යාව වනවිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණය පිරි ඉතිරී යන්නේ කලක පටන් ක්‍රිකට් තරගයක අසිරිය විද ගැනීමට බැරි වූ ක්‍රිකට් ඉත්තෑවන්ගේ රෝග සුවපත් කරගැනීමට ය.

ඒ වනවිට මාගේ මාතෘ භූමියේ වැසියන් නහුතෙටම මානසිකව වැටී තිබුනේ ය. දිනෙන් දින සොහොන්බිමකට අර අදින රටක පරාජිතයන් ලෙස ලෝකය ඉදිරියේ හංවඩු වෙන රටක මාගේ වැසියන්ට ජයග්‍රහණය පිපාසයක් වී තිබුනේ ය.

එවන් වැසියන්ට මොහොතකට හෝ මානසික සුවයක් විඳ ගැනීමට ක්‍රිකට් දිව ඔසුවක් විය. එනිසා එදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වටා මාගේ ජනතාව රොද බැඳ ගත්තේ ඒ වනවිට අපි විස්සයි විස්ස තරගාවලිය පරාජය වී ඇති බවත් අමතක කරමින් ය.

හරියට ලෝක කුසලානයක අවසාන තරගයක් අද පල්ලෙකැලේ තිබේදැයි මා හට සිතුනේ ය.එතරම් ජන ගඟක් පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ආක්‍රමණය කල සිටියේ ය.

කාසියේ වාසිය සමග කැන්ගරුවන් ප්‍රථමයෙන්ම පිත්ත අතට ගන්නේ ග්ලෙන් මැක්ස්වෙල් නම් ශ්‍රි ලාංකිකයින්ගේ පල්ලෙකැලේ හතුරාගේ ප්‍රහාරක් අදත් දියත් වේවිදෝ යන භයානක භීතිය ලාංකීය ප්‍රේක්ෂක සිත් තුල කිඳ බස්සමින් ය.

කෙසේ හෝ ශ්‍රි ලාංකීය දඟ පන්දු තරුව හසරංගයන්ගේ ජයග්‍රාහී හසරැල් මැද බිහිසුණු මැක්ස්වෙල්ගේ ඉනිම අවසන් වන්නේ ය. එසේම හසරංගගේ සහයක මැජික්කාරයා වූ මහීෂ් තීක්ෂණගේ අභිරහස් පන්දු වලින් කැන්ගරුවන් අසරණ වෙන්නේ අජන්ත මෙන්ඩිස් නම් සුපිරි පන්දු යවන්නාගේ මතකයන් විරාජමාන කරනා තීක්ෂණ හට කඩුලු දෙකක් දවා ගැනීමට කැන්ගරු ඉනිමේ ඉඩකඩ ලැබෙමිනි.

කෙසේ හෝ ගුටිබැට දුන් කැන්ගරුවන් පන්දුවාර විස්ස අවසානයේ සිය ලකුණු පුවරුව 176ක ප්‍රභල තැනකට ගෙන ගියේ ය.

විටෙක මෙය සිංහපෝතකයින්ට හීනයක් බඳු වන්නේ පෙර තරග ද්විත්වයේම ලකුණු 130ක් ලබා ගන්නට බැරි වූ පරාජිතයින් ලෙස සිටි සිංහයින් හට ලැබුනු ඉලක්කයක් මෙය වෙන බැවිනි.

එහි අසීරු බව පෙන්වමින් දවසින් දවස දෙන අවස්ථා වලට පයින් ගසනා ගුණතිලකයන් මුළු ලකුණු සංඛ්‍යාව 25ක්ව තිබියදී පිටියෙන් ඉවත් වී යන්නේ නැවත වරක් සුපුරුදු පරිදි සියල්ලෝම අමාරුවේ දමමින් ය.එසේම හෙසල්වූඩ් වන එරට ප්‍රභලයා තරගාවලිය පුරාම සිංහයින්ගේ භීතිකාවක් විය.

ප්‍රතිප්‍රහාර දියත් කරමින් පැතුම් නිස්සංක නම් සිය සුපුරුදු සගයා කඩුල්ලේ රදවාගෙන ලකුණු රැස් කල චරිත් අසලංක අවාසනාවන්ත ලෙස ලකුණු 26කට පිටියෙන් ඉවත් කරන්නට මාක් ස්ටොනිස් සමත් වන්නේ ය.

එසේම ආරම්භයේ සිට කඩුල්ලේ පැල වෙමින් පැත්තක අරක්ගෙන සිටි වර්තමානයේ ශ්‍රි ලංකාව සතු හොදම පිතිකරුවා වූ පැතුම් නිස්සංක සිය සහෝදරයා නැසී ගිය ස්ටොනිස්ගේ අතින්ම තමාද අවාසනාවන්ත ලෙස නැසී යන්නේ ලක් අම්මා දැඩි ප්‍රශ්නයකට භාර කරමින් ය.

අනතුරුව ක්‍රීඩා පිටිය වටා අස්සක් මුල්ලක් නෑර ප්‍රේක්ෂක ජන ගංඟාවේ ආදරය මැද ඉනිම් තනන්නට ආ භානුක රාජපක්ෂ ලකුණු 17ක් ලබා සිටියදී පිටිය හැර ක්‍රීඩාගාරයට පිය මනින්නේ ලක් අම්මාගේ ජයග්‍රාහී හීනය බොඳ කරමින් ය.
ඉන් පසුව තරගයේ වීරයා පිටියේ වගකීම භාර ගන්නේ ය.

නමුදු තරගයේ අවසානය වෙනතුරු මේ පැමිණියේ අපගේ වීරයා බව අපිට අමතක විය.මන්ද එය එසේ මෙසේ ඉනිමක් නොව සියල්ලන් පුදුම කල පුදුමාකාර ඉනිමක් ය.

ශානක සිය පලමු පන්දු 12 තුලම රැස් කර ගන්නේ ලකුණු 6ක් පමණි. එසේ තිබියදී විටෙක ශ්‍රි ලංකා ලකුණු පුවරුව දිස් වූයේ පරාජයේ ලේබලය වැදුනු ලකුණු පුවරුවක් ලෙස ය.අවසාන පන්දුවාර තුන තුල ජයග්‍රහණය සදහා සිංහපෝතකයින්ට ලකුණු 59ක් රැස් කරගත යුතු විය.

එක් පසෙකින් චාමික කරුණාරත්න ය.අනෙක් අන්තයේ පන්දු 12ක් විනාශ කරමින් ලකුණු 6ක් රැස් කරගෙන සිටි නායක දසුන් ය.පන්දු යවන්නේ පන්දුවාර තුනක් නිලකුණු පන්දුවාරයක්ද සමග යවමින් ලකුණු 3කට කඩුලු දෙකක් දවාගෙන සිටි කැන්ගරුවන්ගේ හොදම දඩයක්කාරයා වූ ජෝස් හෙසල්වූඩ් ය.

එකේ ලකුණකින් නායකයාට අන්තය මාරු කර දුන් චාමිකට ඊලග පන්දුවේ අපූරු දසුනක් දසුන්ගේ පිත්තෙන් දිස් විය.
ඒ දර්ශනීය ලකුණු හයක් ය.ඔවුන්ගේ හොදම පන්දු යවන්නාට දර්ශනීය හයකින් දසුන් සංග්‍රහ කලේ ය.
පරාජයේ වේදනාව අත්විඳිමින් සිටි ලාංකීය ප්‍රේක්ෂකයන් වියරු වැටුනු පුදුමාකාර උද්‍යෝගයකින් නැවතත් අවධි වී පිටිය දෙවනක් කරේ ය.

මෙතෙක් වෙලා නිදාගෙන සිටි දසුන් ශානක නම් සිංහයා අවධි කරන්නට තරම් එකී පහර බල සම්පන්න විය.
ඉන් පසුව තුන්වෙනි පන්දුවටත් හයේ පහරකින් සංග්‍රහ කල දසුන් නිදාගෙන සිටි සිංහයා අවධි වූ බවට රතු එළියක් ප්‍රතිවාදී කැන්ගරුවන්ට ලබා දීමට සමත් විය.

එතැනින් අහවර නැත.

ඉන් පසු පන්දු දෙකටම හතරේ පහරවල් ද්විත්වයකින් සංග්‍රහ කල දසුන් චාමික සමග එක්ව ඔවුන්ගේ හොදම පන්දු යවන්නාව අල්ලාගෙන හොදටෝම ගුටිබැට දෙමින් ලකුණු 22ක් එක් කර ගන්නේ ය.

එතැන් පටන් යක්ෂා වේශයෙන් පල්ලෙකැලේ මායිම් අරක්ගත් දසුන් ශානක නම් භයානක මාරයා සමග එක් වූ චාමික ඉන් පසුව පන්දු යවන්නට පැමිණි ජේ රිචර්ඩ්සන් හට උන් හිටි තැන් අමතක කරමින් ලකුණු 18ක් උදුරා ගන්නට සමත් විය.
අවසාන පන්දුවාරයට ජයග්‍රහණය සදහා ලකුණු 19ක් අවශ්‍ය විය.

ලේසි නැත. මන්ද මේ වත්මන් ලෝක ශූරයින් ය. ඔවුන් ශ්‍රි ලංකාවට එන්නේ පුරා දෙමසක් පැවති අසල්වාසී ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරමින් ය.

කෙසේ නමුත් අවසාන පන්දුවාරය වෙන විට ලෝක ශූර කැන්ගරුවන් පිච්චියකටවත් මායිම් නොකරන තැනකට ශානකගේ ප්‍රතිප්‍රහාරය ප්‍රභල විය.

එවිට ලෝක ශූර කැන්ගරුවන් කොතරම් පීඩනයකින් පෙලුනාද යන්නට හොදම සාක්ෂිය විසිවෙනි පන්දුවාරයේ කේන් රිචර්ඩ්සන් ‍යොමු කල පලමු පන්දු ද්විත්වයම විනිසුරු විසින් වයිඩ් පන්දු ලෙස සටහන් කරනු ලබන්නේ ය.

අනතුරුව අවසාන පන්දුවාරයේ නිල පලමු පන්දු ද්විත්වයට එක ලකුණු බැගින් ලබාගත් සිංහපෝතකයින්ට අවසාන පන්දු 4ට ජයග්‍රහණය සදහා ලකුණු 15ක් අවශ්‍ය විය.

පල්ලෙකැලේ මාරයා වූ දසුන් ශානක කේන් හට ක්‍රියාත්මක වූයේ පිට පිට හතරේ පහරවල් ද්විත්වයක් රැස් කර ගනිමින් සතුට සොයා පැමිණි ප්‍රේක්ෂක ජන ගඟ සතුටු සාගරයේ ගිල්වමින් ය.

අවසාන පන්දු දෙකට ලකුණු 7ක අඩුවක් ඇත. මෙකී මාරාන්තික ප්‍රහාරයෙන් කැන්ගරුවන් බිය වැද්දූ මේ මාරාන්තික අවතාරයේ බිහිසුණු බව තදින්ම පෙන්නන්නට එකී ඉලක්කය සම්පූර්ණ කරගත යුතුව විය.

නැවතත් රිචර්ඩ්සන් එරෙහිව ක්‍රියාත්මක වූ දසුන් ශානක සුවහසක් ලාංකීය ජනතාවට විජයග්‍රහණයක පහස දායාද කරමින් වූ අලංකාර හයේ පහරක් ඔහුගේ පිත්තට ඇතුලත් විය.

තනිකරම මගුල් සක්වලක් ය.මාගේ ජනතාව ජයග්‍රහණය කර හමාර ය.සැබෑ ජයග්‍රහණයට තවත් ලකුණක් අවැසි මුත් තරගය ප්‍රේක්ෂක හදවත් දිනා අවසන් ය.

අවසන් පන්දුවට වයිඩ් පන්දුවකින් ජයග්‍රහණය පිරිනැමූ කේන් මාගේ මාතාවට අමරණීය ජයග්‍රහණයක් ලබා දුන්හ.

දසුන් ශානක නම් පල්ලෙකැලේ මාරයාගේ බිහිසුණු අත්දැකීම පුරා පන්දු 25ක් වටා ගෙතුනු අතර නොදැවී ලකුණු 54කින් ඔහුගේ කතාව නිමා කරන්නේ පරාජය පෙනි පෙනී කඳුළින් තෙත් වූ දෑස් වලට සතුටු කදුළු පොම්ප කරමින් ය.

මෙය විටෙක ශානක හට ලැබිය යුතු ඉනිමක් ය.පෞද්ගලිකව ඔහුටත් මෙවන් ජයග්‍රාහී ඉනිමක පිපාසයෙන් පෙලුනේ ය. එසේම කලකට පෙර පිං කැප්ටන් නමින් ඔහුව හංවඩු ගැසූ ඇත්තන්ට ද කදිම කනේ පහරක් ය.

සැබැවින්ම ඔහු පිං කැප්ටන් ‍ය. දවසින් දවස සොහොනක් වෙන අපේ ජීවත මොහොතකට සුවපත් කරන්නට දසුන් ශානක නම් නායකයා සමත් විය. ඔහුට ඒ පිනම ඇත.

මා ක්‍රිකට් තරග අසීමිතව බලන්නට ඇත. මන්ද ක්‍රිකට් යනු මා මෙන්ම මෙරට බොහෝ වැසියන්ගේ රුධිරයටම බද්ද වූ කකියන උණක් ය. එකී උණ පරම්පරාවෙන් පරම්පරාවට ආවේ උප්පත්තියෙන්ම ‍ය. ඉකී උණසන්නිපාතයේ පංගුකාරයෙකු වූ මා හට නැරඹූ තරග වලින් අමතක නොවන තරග ඇත්තේ අතලොස්සක් ය. මා මෙන්ම මෙරට ක්‍රිකට් වැසියන්ට ද අමතක නොවන මතක ඇත.

එකී නොකි සියලු දෙනාගේම හදවත් තුල පංගුකාරයෙකු වන්නට දසුන් ශානක මේ සුපිරි නිමාවෙන් සමත් විය.

තරගාවලිය පරාජය විය. නමුදු මේ ජය ලෝකයක් දින්නා හා සමාන ය. මන්ද පෙර ලියා තැබුවා මෙන් මෙම තරගය හීන මැරුණු රටක මිනිසුන්ගේ හදවත් සුවපත් වුනු තවත් සුන්දර නිමේෂයක් වෙන බැවිනි.

මිරැකල් දැක ඇත.නමුදු පල්ලෙකැලේ මාරයාගේ Kandy Miracle එක සුවිශේෂී ය.

ඒ අන් කිසිවක් නිසා නොව නැවත නැවතත් හීන මැරුණු රටක ජීවිත සොහොන් පිට්ටනියක් වෙන රටක මිනිසුන්ගේ හදවත් මොහොතකට සුවපත් කල දිව්‍යමය ඔසුවක් ලෙස මෙම තරගය රසික හදවත් තුල ජීවමාන වෙන බැවිනි.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරුණි. ඔහුගේ Facebook පිටුවට පිවිසීමට Click කරන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button