Cricket NewsEXCLUSIVEInternational

හුරු පුරුදු මීර්පූර් ක්‍රීඩාංගනයේදීම බංගලාදේශ කණ්ඩායමට පකිස්ථානය ඉදිරියේ අවමන් සහගත පරාජයක්.!

පාකිස්තාන කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 8කින් ජය ගන්නට පාකිස්තානය සමත් වුනා.ඒ අනුව තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස පාකිස්තානය ජය ගත්තා. තරගය පැවැත්වුණේ මීර්පූර් හි Sher-e Bangla ජාතික ක්‍රීඩාංගණයේ දීයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 300ක් රැස් කළේ වර්ෂාව නිසා වරින් වර සිදු වූ බාධා මධ්‍යයේයි.

තරගයේ පළමු දිනය අවසන් වන විට පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 161ක් රැස් කරගෙන සිටියා.

කෙසේ නමුත් දිවා ආහාරයෙන් පසුව වර්ෂාව හා අඳුරු ආලෝක තත්වය වැඩි වෙලාවක් තරගය පවත්වන්නට ඉඩ ලබා දුන්නේ නැහැ. පළමු දිනය අවසන් වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක Babar Azam ලකුණු 60ක් හා Azhar Ali ලකුණු 36ක් රැස් කරගෙන සිටියා.

පතිත වූ දැඩි වර්ෂාව නිසා තරගයේ දෙවැනි දිනයේ දී ක්‍රීඩා කරන්නට ඉඩකට ලැබුණේ මිනිත්තු 30ක් පමණ සුළු කාලයක් පමණයි. එම කෙටි කාලයේ දී සිය අර්ධ ශතකය සම්පුර්ණ කරගන්නට Azhar Ali සමත් වූ අතර දිනය නිමා වන විට Azhar ලකුණු 52ක් හා Babar ලකුණු 71ක් රැස් කරගෙන සිටියා.

අනතුරුව පාකිස්තාන ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු දෙකකට ලකුණු 188ක් ලෙසයි.

කෙසේ නමුත් තරගයේ තෙවැනි දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගියේ තරගයේ ප්‍රතිඵලය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතු කරමිනුයි. කෙසේ වෙතත් සිව්වැනි දිනයේ දී පාකිස්තානය සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 112ක් එක් කළේ සිය ඉනිම නිමා කිරීමට පෙරයි.Fawad Alam නොදැවී ලකුණු 50ක් රැස්කර ගත්තේ හතරේ පහර හතක් සමඟින්. Mohammad Rizwan ලකුණු 53යි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් නායක Babar Azam ලකුණු 76ක් රැස් කරගත්තා. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් ඇතුළත් වුනා.

ඒ අනුව බංග්ලාදේශයට පන්දුවට පහර දීමට ආරාධනා කරන විට පාකිස්තාන ලකුණු පුවරුව දිස්වුණේ ලකුණු 300ට කඩුලු 4ක් ලෙස වන අතර සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කඩුලු 7ක්, සිව්වැනි දිනය නිමා වීමට පෙර දැවී යාම විශේෂත්වයක් වුනා.

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Sajid Khan ඉන් කඩුලු 6ක් තමන්ගේ නමට ලියා ගත්තේ ලකුණු 35ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනුයි.

කෙසේ වෙතත් වර්ෂාව හා අඳුරු කාලගුණය හේතුවෙන් සිව්වැනි දිනය කලින් නිමා වෙද්දී බංග්ලාදේශ පළමු ඉනිම දිස්වුණේ කඩුලු හතකට ලකුණු 76ක් ලෙසයි.පස්වැනි දිනය සම්පූර්ණයෙන්ම සියතට ගන්නට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුනා. බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 87කට සීමා කරන්නට Sajid Khan සමත් වුනේ ලකුණු 42කට කඩුලු 8ක් දවා ගනිමිනුයි. Shaheen Shah Afridi එක් කඩුල්ලක් දවා ගත්තා.

බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 10යේ සීමාව ඉක්මවා යන්නට සමත් වුනේ පිතිකරුවන් දෙදෙනෙක් පමණයි. Najmul Hossain Shanto ලකුණු 30ක් රැස් කළ අතර Shakib Al Hasan ලකුණු 33ක් රැස්කර ගත්තා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා පස්වැනි දිනයේ දී නැවත පන්දුවට පහර දුන් බංග්ලාදේශයට ඉනිමක පරාජය බේරෙන්නට පමණක් නොව තරගය බේරා ගන්නටත් නොහැකි වීම විශේෂත්වයක් වුනා.

බංග්ලාදේශය සිය දෙවැනි ඉනිමට සියල්ලන් දැවී රැස්කර ගත්තේ ලකුණු 205ක් පමණයි.දෙවැනි වරටත් බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කළ Sajid Khan දෙවැනි ඉනිමේ දීත් කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 86ක් පමණක් පිතිකරුවන්ට ලබා දෙමිනුයි.

Shaheen Shah Afridi හා Hasan Ali කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා. නායක Babar Azam සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙස Mehidy Hasan Miraz දවා ගැනීම තරගයේ තවත් කැපී පෙනෙන සිදුවීමක් වුනා.

බංග්ලාදේශය වෙනුවෙන් Shakib Al Hasan ලකුණු 63ක් රැස්කර ගනිද්දී, Mushfiqur Rahim ලකුණු 48ක් හා Liton Das ලකුණු 45ක් රැස්කර ගත්තා.

තරගයේ වීරයා පාකිස්තානයේ Sajid Khan. තරගාවලියේ වීරයා පාකිස්තානයේ Abid Ali.

මේ ජයග්‍රහණයත් සමඟින් තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගන්නට පාකිස්තානය සමත් වුනා. ඒ අනුව ඔවුන් 2021- 2023 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7