Cricket NewsEXCLUSIVELPL

නුවර නිළමෙලා, දඹුලු යෝධයන් ඉදිරියේ දණ ගසයි – පිල් සෝල්ට්ගෙන්⁣ සහ දික්වැල්ලගෙන් නුවරට දැඩි ප්‍රහාරයක්.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර මෙවර තරගාවලියේ දෙවන තරගය ලෙස අද සවස Dambulla Giants කණ්ඩායම සහ Kandy Warriors කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 20ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් තරග වදින දඹුල්ල කණ්ඩායම සමත්වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කළ දඹුල්ල නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 190 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි Phil Salt සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 97 ක දැවැන්ත ආරම්භක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූ අතර Phil Salt අධි වේගී ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලෙමින් පන්දු 27ක් තුළ ලකුණු 64 ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ වේගවත් ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5ක් සහ හතරේ පහරවල් 4ක් ඇතුලත් වුනා.

නිරෝශන් දික්වැල්ල පන්දු 23ක් තුල ලකුණු 37 වාර්තා කිරීමට සමත් වු අතර නායක දසුන් ශානක ලකුණු 24ක් රැස් කලා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 3ක් බිඳ හෙලූ අතර Al-hussein කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 191ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kandy Warriors පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 170ක් පමණයි.

Kandy Warriors කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ Rovman Powell
පන්දු 21කින් ලකුණු 42 ක් රැස්කිරීමට සමත්වූ අතර නායක ඇන්ජලෝ පෙරේරා ලකුණු 24 ක් සමග සචිඳු කොළඹගේ ලකුණු 27 ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් Kandy Warriors කණ්ඩායමට දිගින් දිගටම පීඩනය ලබාදුන් නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරගගයේ ජයග්‍රහණය දඹුල්ල කණ්ඩායමට හිමි වු අතර තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පන්දු 27කින් අධිවේගී ලකුණු 64ක් රැස් කළ Phil Salt හටයි.

තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7