Cricket NewsEXCLUSIVEInternational

සිංහ-කැන්ගරු එක්දින සටන හෙට – ප්‍රභල කැන්ගරුවන් 8ක් දිවයිනට

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රබල ක්‍රීඩකයන් 8ක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ 8ක් ඊයේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියහ.

මේ එක්දින තරගාවලිය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, අවසන් එක්දින තරගය 14 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මේ දිනවල විදුලි ආලෝක ධාරා පද්ධතිය අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පවතින හෙයින් මේ තරග දෙකම දිවා කාල‍යේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ එක්දින තරග දෙක ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම අනුව සංවිධාන කෙරෙන අතර, පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පෙරහුරුවක් බවට පත්කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වේ.

ටෙස්ට් තරගාවලියේ ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ්, ස්ටීව් ස්මිත්, මානස් ලැබුෂේන්, ජොස් ඉංග්ලිස්, ඇලෙක්ස් කේරි, කූපර් කොනාලි, ෂෝන් ඇබොට්, මිචෙල් ස්ටාක් තවදුරටත් එක්දින තරගාවලිය වෙනුවෙන් රැඳී සිටින අතර, ආරොන් හාඩි, ග්ලෙන් මැක්ස්වෙල්, බෙන් ඩවාෂුයිස්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, නේතන් එලිස්, ස්පෙන්සර් ජොන්සන්, තන්වීර් සංගා හා මැට් ෂෝර්ට් යන ක්‍රීඩකයෝ එක්දින තරග දෙක වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

ටෙස්ට් සංචිතයේ සිටි උස්මාන් කවාජා, ස්කොට් බෝලන්ඩ්, සෑම් කොන්ස්ටාස්, මැතිව් කූනමන්, නේතන් ලයන්, නේතන් මැක්ස්වනී, ටොඩ් මර්ෆි හා බියූ වෙබ්ස්ටර් යන ක්‍රීඩකයෝ මේ වන විටත් ඔස්ට්‍රේලියාවට පිටත්ව ගොස් සිටිති. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් සිය දෙවැනි දරුවාගේ උපත බලාපොරොත්තුවීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයට එක් නොවන අතර, ස්ටීව් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීම සැලසුම වේ.

ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට එක්වන 26 හැවිරිදි ආරොන් හාඩි හා 29 හැවිරිදි මැට් ෂෝර්ට් එක්දින ජාත්‍යන්තර තරග 11කට මුහුණදී අත්දැකීම් ඇති ක්‍රීඩකයන් වන අතර, 30 හැවිරිදි නේතන් එලිස් එක්දින ජාත්‍යන්තර තරග 8කට ක්‍රීඩා කර ඇත. 22 හැවිරිදි ලෙග් බ්‍රේක් ගුග්ලි පන්දු යවන ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් එක්දින ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කොට ඇති අතර, තන්වීර් සංගා හා ස්පෙන්සර් ජොන්සන් තවමත් තරග දෙකක අත්දැකීම් ඇති ක්‍රීඩකයෝ වෙති. 30 හැවිරිදි වමත් වේග පන්දු යවන බෙන් ඩවාෂුයිස් පසුගිය වසරේ එංගලන්තයට එරෙහිව මංගල එක්දින තරගයට ක්‍රීඩා කළේය. මෙම සියලු ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු ‘බිග් බෑෂ්’ තරගාවලියේදී දැක්වූ දක්ෂතා අනුව එක්දින සංචිතයට තෝරා ගෙන තිබේ.

එක්දින තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු පිල ඊයේ දින පුහුණු කටයුතු ආරම්භ කළ අතර, අද පස්වරුවේ ඔවුන්ගේ අවසන් පුහුණු සැසි‍යෙන් පසු කණ්ඩායම නම් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button