Cricket NewsEXCLUSIVEWoman Cricket

අහිමිවූ අභිමානය නැවත සොයා යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ගමන්මග ම ගනිමට් හැකි වේවිද ?

වසර 18 ක අතීතයකට හිමිකම් කියන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී පිට පිටම සිවුවරක් අනු ශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, අවසන් වරට සහභාගි වූ තරගාවලි තුනේදීම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට පවා අසමත් විය.

2004, 2005, 2006 සහ 2008 යන වසර වලදී මෙම තරගාවලිය එක්දින ජාත්‍යන්තර (ඕවර 50) ආකෘතියට අනුව පැවැති අතර එම තරගාවලි තුනේම අවසන් මහ තරගවලදී ඉන්දීයාව හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

කෙසේ වුවත් 2012 වසරේ පැවැති තරගාවලියේ මූලික වටයේදී බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේදී ඉන්දියාවට එරෙහිව තරග වැදීමට සිදුවිය. එහෙත් වර්ෂාව හේතුවෙන් එම තරගය අත්හැර දැමුණ බැවින් ශ්‍රී ලංකාවට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

2012 වසරේදීම මෙන්ම 2016 සහ 2018 වසර වලදීද මෙම තරගාවලිය විස්සයි-20 තරග රටාවට අනුව පැවැත්විණ. එහෙත් 2016 සහ 2018 වසරවලදී තරගාවලිය කාණ්ඩ 2 කට නොබෙදා ලීග් ක්‍රමයට අනුව පැවැති බැවින් මූලික වටයේදී ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් ද්විත්වය අවසන් තරගයට සුදුසුකම් ලැබූහ.

2016 වසරේදී ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ ලැබූ පරාජයන් හේතුවෙන් තෙවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව, 2018 වසරේදී ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ පමණක් නොව තායිලන්තය හමුවේද පරාජයට පත්වීම හේතුවෙන් සිවුවැනි ස්ථානය දක්වා පහළට ඇද වැටිණ.

මේ දක්වා පැවැති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් 7 න් 6 කම ශූරතා දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත්ව ඇති නමුත් අවසන් වරට 2018 වසරේදී පැවැති තරගාවලියේ ශූරතාව දිනාගනු ලැබුවේ බංග්ලාදේශය විසිනි. එහිදී ඉන්දියාවට අනු ශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

ශ්‍රී ලංකාව අනු ශූරතා 4 කට හිමිකම් කියන අතර පාකිස්ථානයද අනු ශූරතා 2 ක් (2012 සහ 2016) තමන් සතුකර ගෙන තිබේ. මෙම සංඛ්‍යා දත්ත දෙස බලන කළ මෙවර (2022) ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු කලාපයේදී තමන් අතින් ගිළිහෙමින් පවතින අභිමානය යළි දිනාගැනීමේ සටනක නිරත වීමට සිදුවනු ඇත.

ඔක්තෝබර් මස 1 වැනිදා සිට 16 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව අමතරව තවත් රටවල් 6 ක් සහභාගි වීමට නියමිතය. සත්කාරක බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව, තායිලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම රටවල් වෙති.

තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශය ඔක්තෝබර් මස 1 වැනිදා තායිලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙන අතර එදිනම ශ්‍රී ලංකාව සිය පළමු තරගයට සහාගිවීමට නියමිතව ඇත්තේ ඉන්දියාවට එරෙහිවය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය.

ඉන් පසුදින එනම් 2 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ඉන් අනතුරුව 4 වැනිදා තායිලන්තයට එරෙහිවද, 8 වැනිදා මැලේසියාව එරෙහිවද, 10 වැනිදා බංග්ලාදේශයට එරෙහිවද, 11 වැනිදා පාකිස්තානයටද එරෙහිවද තරග බිමට පිවිසෙනු ඇත.

විස්සයි-20 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙවර තරගාවලියද ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර මූලික වටය අවසානයේ ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. අවසන් පූර්ව වටයේදී ජයගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වේ.

මැලේසියාව, තායිලන්තය හෝ එක්සත් ආරාබි එමීර් රාජ්‍යය හමුවේ පරාජය නොවන්නට එහිදී ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය සමග පළමු කණ්ඩායම් 4 අතරට එක්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ. එහෙත් එතැනින් ඉදිරියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන තරමක් කටුක වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button