Cricket NewsEXCLUSIVEIPL

“ක්‍රීඩකයෙකුට ශාරීරික යෝග්‍යතාවය අවශ්‍යයි, නමුත් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මට නම්, ඇත්ත වශයෙන්ම පළමුවෙන් එන්නේ දක්ෂතාවය” – භානුක රාජපක්ෂ

ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ Punjab Kings හා එක්ව සිටින භානුක රාජපක්ෂ ඉන්දීය කණ්ඩායමේ හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි යනු ‘ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ’ බව පවසා තිබෙනවා.

භානුක රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ශරීරික යෝග්ය්තා සම්බන්ද ව කලක පටන් අර්බුදයක් පැවතියා. මේ වන විට IPL තරගාවලිය නියෝජනය කළ ද, ශාරීරික යෝග්‍යතාවය පිළිබද ගැටලු හේතුවෙන් ඔහුට මෑතකදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකි වූයේ නැහැ.

මේ අතර ඉන්දියාවේ PTI පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ හිටපු ඉන්දීය නායක විරාට් කෝලි සිය ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගන්නා ආකාරය පිළිබද තමාට ඉගෙන ගත යුතු බවයි.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින භානුක රාජපක්ෂ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී පන්දු 22කින් වේගවත් ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා.

එම ඉනිම Punjab Kingsහි ජයග්‍රහණය වෙනුවෙන් දියත් වූ වැදගත්ම ඉනිම බවට ද පත් වුයේ RCB හි ප්‍රධාන දඟ පන්දු තුරුම්පුව වූ වනිදු හසරංග ව පාලනය කිරීමට ඔහුට හැකිවීමත් සමගයි.

ශාරීරික යෝග්‍යතාවය පිළිබද ගැටලුව මත පදනම්ව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ද තීරණය කළ නමුත්, පසුව ඔහු යළි එම තීරණය ඉල්ලා අස් කර ගත්තේ පාර්ශව රැසකින් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්.

“ක්‍රීඩකයෙකු ලෙස ශාරීරික යෝග්‍යතාවය අවශ්‍ය නමුත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක වෙනස්. මට නම්, ඇත්ත වශයෙන්ම පළමුවෙන් එන්නේ දක්ෂතාවය. ඊට පස්සේ යෝග්‍යතාවය, නමුත් ඔබ ප්‍රමාණවත් තරම් යෝග්‍ය නොවේ නම්, ඔබට අනිවාර්යයෙන්ම දක්ෂතා දැක්විය නොහැකියි.” යනුවෙන් භානුක රාජපක්ෂ PTI පුවත් සේවය වෙත සදහන් කර සිටියා.

“ඇත්තටම මම මගේ ශාරීරික යෝග්‍යතාව ගැන ගොඩක් මහන්සි වෙනවා. මට විවේකයක් ලැබෙන සෑම විටම මම උදේම ජිම් එකට යනවා. රට නියෝජනය කිරීම සඳහා ශාරීරික යෝග්‍යතා අවශ්‍යතා කිහිපයක් තිබෙන නිසා වගේම ශාරීරික යෝග්‍යතාවය සමඟ මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය දිගු වේවි.”

“කණ්ඩායමෙන් පිටත විරාට් කෝලි සෑම විටම මට කතා කර ශාරීරික යෝග්‍යතාව පිළිබඳ උපදෙස් ලබා ගත හැකි අයෙක්. ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ඔහු සිටින්නේ වෙනත් මට්ටමක. මට නම් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. යෝග්‍යතාවය හෝ කුසලතාවය ගැන බැලුවත්, ඔබට ඔහුව ඕනෑම කෙනෙකුට සමාන කළ හැකියි. ඔහු ඉතා වෙහෙස මහන්සි වී ක්‍රීඩා කරනවා. ඔහු සමඟ කතා කිරීමෙන් ඔබට බොහෝ දේ ඉගෙන ගත හැකියි.” යනුවෙන් භානුක වැඩිදුරටත් කියා සිටියා.

“ඉදිරි වසර තුන හතර ක්‍රීඩා කරලා රට වෙනුවෙන් හොඳම දේ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මොකද මගේ ඉල්ලා අස්වීමෙන් පස්සේ මට ඒක ආපහු ඉල්ලා අස්කරගන්න සිද්ධ වුණේ මම තාක්ෂණික කමිටුව සහ ක්‍රීඩා ඇමැතිවරයා එක්ක සාකච්ඡා කිහිපයක් කළ නිසා. ඔවුන්ට මගේ විශ්‍රාම ගැනීම නැවත සලකා බැලීමට අවශ්‍ය වුණා, මම එය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළා.”

භානුක රාජපක්ෂ මෙලෙස PTI පුවත් සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button