Cricket NewsEXCLUSIVE

“ඔබ අප වෙනුවන් සිටියා වගේම, අපි හැමදාමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්නවා, ඒක සාමාන්‍ය අවස්ථාවලදීද නැත්නම් අසීරු අවස්ථාවලදීද කියලා වෙනසක් නෑ.. කිසිම ප්‍රශ්නයක් නෑ අපි අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙනවා” – පාකිස්තානු ක්‍රිකට් ආයතනය

ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින ජන අරගල පිළිබඳ තත්ත්වය කුමක් වූවත්, ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

“අපි හැමදාමත් ශ්‍රී ලංකාවට උදව් කරන්න බලාපොරොත්තුවෙන් හිටියා. ඒක සාමාන්‍ය අවස්ථාවලදීද නැත්නම් අසීරු අවස්ථාවලදීද කියලා වෙනසක් නෑ…. ඒ නිසා ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ” යයි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පවසා තිබිණ.

මේ දිනවල ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බලවත් ආර්ථික අපහසුතා හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු සහ පාකිස්තානු කණ්ඩායම් වලට එරෙහි තරගාවලි දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහත් චකිතයට පත්ව සිටී.

ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන මහජන අරගලය මේ වන විට දින 35 ක් ඉක්මවා, අඛණ්ඩව පැවැත්වෙමින් තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කර සිටියේ තමන් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කරනවාද නැද්ද යන්න අවසන් තීන්දුව ගන්නා බවත්ය.

කෙසේ වෙතත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ තීරණය ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය අත බවයි.

ඒ අනුව තමන් ඉදිරි පියවර ගන්නා බවත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයා පැවසා තිබිණ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ කුමක්ද, අපි ඒකට සූදානම්… තරගාවලිය ශ්‍රී ලංකාවේ තිබ්බත්, වෙනත් මධ්‍යස්ථ තැනක තිබ්බත්, අපි තරගාවලියට එනවා” යයි ද පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයා වැඩිදුරටත් පවසා තිබිණ.

ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල අතර ඇත්තේ දැඩි සම්බන්ධතාවකි. මෙම සම්බන්ධතා 1960 දශකය දක්වාම ඈතට දිවෙන්නකි.

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබීමට පෙර සිටම, ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවිය යුතු යයි බලකරමින් සිටියේද පාකිස්තානයයි.

1994 දී පාකිස්තානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටියදී හදිසියේම ඇඳිරි නීතිය පනවන ලදි. එහෙත් පාකිස්තානු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව නොයා, දිගටම රැඳී සිටිමින්, ටෙස්ට් තරගයක් අවලංගු කර එක්දින තරගාවලියකට සහභාගි විය.

1996 ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු සහ බටහිර ඉන්දීය කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී සුහද තරගයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ‘විල්ස්’ ඒකාබද්ධ කණ්ඩායම ඉන්දීය සහ පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය.

වසර 2009 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝරයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් වසර ගණනාවක් පාකිස්තානයේදී අන්තර්ජාතිත ක්‍රිකට් තරග නොපැවැත්විණ.

එහෙත් ඉන් පසුව මුලින්ම පාකිස්තානයේදී ටෙස්ට් (2019 දී) සහ එක්දින (2019 දී) තරගාවලට සහභාගි වූයේද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

පාකිස්තානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ටෙස්ට් තරග දෙකකට අමතරව එක්දින තරග 3 ක් ද පැවැත්වීමට නියමිතව තිබිණ.

එහෙත් මෙම එක්දින තරග 3, එක්දින ලෝක ශූරතාවලියට ඇතුළත් නොවීමත්, LPL තරගාවලිය කලින් ආරම්භ කිරීමටත් ඇති අවශ්‍යතාව හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත, පකිස්තානු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අවලංගු කර දැමිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button