Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

චමරි ප්‍රමුඛ ශ්‍රි ලංකා කාන්තාවෝ පලමු විස්සයි20 තරගයෙන් කොදෙව්වන් පරාජය කරයි.

කොදෙව් කාන්තා පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී සංචාරකයන්ට සම්පූර්ණ සුද්දයක් දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදීත් 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටිති.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩිකාවන්ට නියමිත ඕවර 20 නිමාවේදී ලබාගත හැකිවූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් පමණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ඔව්හු ආරම්භයේ සිටම කිසියම් සැලැස්මක් ඇතිව පන්දු යැවූහ. පළමු ඕවර 3 දී කොදෙව් පිතිකාරිණියන්ට ලබාගත හැකිවූයේ ලකුණු 10 කි. එහෙත් අනතුරුව යැවුණු ඕවර දෙකේදී පන්දුව පස් වතාවක්ම හතරේ සීමාවෙන් එපිටට යැවූ හේලි මැතිව්ස් සහ කියානා ජෝෂප් දෙදෙනා 5 වැනි ඕවරය නිමාවන විට ලකුණු 34 ක් පුවරුවට එකතු කළහ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු යවන්නියන්ගෙන් ගහණ වන නමුත් අද තරගයේදී තමාම පන්දුව අතට ගත් චමරි අතපත්තු විසින් කියානා ජෝෂප් දවාගනු ලැබීමත් සමගින් තරගයේ තාලය වෙනස් විය. එතැන් සිට ලකුණු 94 ක් ඇතුළත කඩුලු 8 ක් දැවී ගිය අතර ඒවායින් 7 ක්ම චමරි අතපත්තු සහ ඉනෝෂි ප්‍රියදර්ශනී විසින් බෙදා හදාගන්නා ලදි.

කොදෙව්වන්ගේ පසුබෑම ආරම්භ වූයේ ඉනෝෂිගේ පන්දු යැවීමෙනි. ඉනෝෂි සිය තුන්වැනි ඕවරය නිමා කරන විට ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගෙන තිබිණ.

අවසන් ඕවරය යැවීම තමාම බාරගත් චමරි අතපත්තු, එහිදී තවත් කඩුලු 2 ක් දවාගනිමින් සිය ඕවර 4 නිමාකළේ ලකුණු 29 කට කඩුලු 4 ක් දවාගනිමිනි. එය චමරි අතපත්තුගේ විස්සයි-20 තරග 132 කදී කළ විශිෂ්ටත පන්දු යැවීම විය. වඩාත් කැපී පෙනන කාරණාව වූයේ චමරි අතපත්තු සහ ඉනෝෂි ප්‍රියදර්ශනී දෙදෙනා කොදෙව්වන් වැටී සිටි ස්ථානයෙන් හිස් එසවීමට ඔවුන්ට අවසර නොදීමයි.

පහසු ඉලක්කයක් වුවත් නායිකා චමරි වේලාසනින්ම දැවී ගියාය. එහෙත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 ක් ඇතුළත ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ විශ්මි ගුණරත්න (35) සහ හර්ෂිතා සමරවික්‍රම (35) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට කැඳවාගෙන ආහ. පන්දු 14 කින් ලකුණු 20 ක් ලබාගත් හසිනි පෙරේරාත් තරමක ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පහසුවෙන්ම තරගය ජයගත්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button