Cricket NewsEXCLUSIVEInternational

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නවකයෝ තිදෙනෙක් එක් කිරීමට උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව තීරණය කරයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පළමු වරට පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නවකයෝ තිදෙනෙක් එක් කිරීමට උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

පළමු වරට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් නම් කර ඇති මේ සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත් වන අතර, උපනායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරයි.

මෙතෙක් ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගෙන නැති වේග පන්දු යවන මිලාන් රත්නායක සමඟ තවමත් ටෙස්ට් වරම් දිනා නැති කඩුලු රකින පිතිකරුවකු වන ළහිරු උදාර සහ වේග පන්දු යවන චාමික ගුණසේකර සංචිතයට ඇතුළත්ව සිටිති.

වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලේ ආදි සිසුවකු වන 27 හැවිරිදි මිලාන් රත්නායක තවමත් ජාත්‍යන්තර පිටියට පිවිස නැති අතර, පළමු පෙළ තරග 33ක් ක්‍රීඩා කර ඇති ඔහු කඩුලු 66ක් දවාගෙන තිබේ. පසුගිය වසරේ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට නම් කළත් මිලාන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

නුගේගොඩ සාන්ත ජෝන් විදුහලෙන් පිටියට පිවිසි 30 හැවිරිදි ළහිරු උදාර ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කර ඇති අතර, පළමු පෙළ තරග 90කදී ද්විත්ව ශතකයක් සමඟ ශතක 11ක් වාර්තා කරමින් ලකුණු 6075ක් රැස් කර තිබේ. මේ දිනවල පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේදී මහනුවර පිල නියෝජනය කරන ඔහු ගාල්ලට එරෙහි තරගයේ ඉනිම දෙකෙදී ශතකයක් සහ අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.

2022 වසරේ ජනවාරි 16 සිම්බාබ්වේ පිලට එරෙහිව ජාත්‍යන්තර එක්දින තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති 24 හැවිරිදි චාමික ගුණසේකර කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවකු වන අතර, එන්එස්එල් තරගාවලියේ මහනුවර පිල වෙනුවෙන් තරග දෙකකදී කඩුලු 8ක් දවාගෙන තිබේ.

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන හිටපු නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යළිත් මේ සංචිතයට එක්කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට පසුගිය වසරේ ජූලි මස ටෙස්ට් තරගාවලියකට එක් වූ අතර, පාකිස්තානයට එරෙහි එම තරගාවලියේ සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, පන්දු යවන්නන් වන ප්‍රවීන් ජයවික්‍රම සහ ඩිල්ෂාන් මධුෂංකට ස්ථාන අහිමිවී තිබේ.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අතර ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ පළමු හමුවීම හෙට (2) එස්එස්සී ක්‍රීඩාංගණයේදී සිදු වෙයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උපනායක), දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු උදාර, චාමික ගුණසේකර, මිලාන් රත්නායක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button