Cricket NewsEXCLUSIVEWoman Cricket

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නවමු මානයකට රැගෙන යාමේ පළමු පියවර තබමින් ක්‍රිකට් ආයතනය ලාබාළ ක්‍රීඩිකාවන් රැසකට කොන්ත්‍රාත් පිරිනමයි.!

කොරෝනා වෛරසයේ බලපෑම නිසා ඉතාමත් දුෂ්කර වූ කාල වකවානුවක වුවද කැපවීම සහ උත්සාහය නිසා රට පුරා විසිරී සිටින දක්ෂතා සහිත දියණියන් 20 දෙනෙකු තෝරා ඔවුන්ට දිරි දීමනාවක් වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන බැගින් ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා පියවර ගෙන තිබෙනවා.

කාන්තා ජාතික කණ්ඩායමට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති දෙවැනි පෙළ කණ්ඩායමකට අත දිගුවක් ලෙසින් සැලකෙන මෙම කාන්තා සංවර්ධන සංචිතයට ඇතුළත් සියළු ක්‍රීඩිකාවෝ අවුරුදු 21 න් පහළ ලාබාළ වයසේ පසුවන්නියන් වීම කැපී පෙනෙයි.

ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ අනාගතයේදී රට දිනවීමට අවස්ථාව සලසාලමින් පිහිටුවන ලද මෙම කාන්තා සංවර්ධන සංචිතය සඳහා වන ත්‍රෛයි මාසික කොන්ත්‍රාත් ගිවිසුම් එම දියණියන් වෙත ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, දේශීය ක්‍රිකට් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී අප්සාරි තිලකරත්න සහ තේරීම් කටයුතු භාර තිලකා නිල්මිණී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් 29 වැනිදා පෙරවරුවේ පැවැත්විණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත් මෙම කොන්ත්‍රාත් ප්‍රධානයේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා,

“අද විශේෂ දවසක්. මොකද අපිට අඩුපාඩුවක්ව තිබුණු කාන්තා සංවර්ධන සංචිතය පිහිටුවන දවස නිසා” යනුවෙන් සඳහන් කර සිටියා, එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි උප සභාපතිවරයා,

“සංවර්ධනය කණ්ඩායම කියන්නේ ජාතික තලයේ කණ්ඩායමක්. ඔයාලගේ පාසල් කණ්ඩායම් වලින් මිදිලා ජාතික සංවර්ධන කණ්ඩායමට ඇතුල්වෙන දවස නිසයි මම අද දවස විශේෂ දවසක් කියලා කිව්වේ. අපේ නිලධාරී මඩුල්ල රට වටා ගිහිල්ලා පුහුණු කඳවුරු තියලා අවශ්‍ය හොඳම දරුවන්ව අපි ඉදිරියට ‍ගෙනාවා. එතකොට ඕගොල්ලෝ තමයි ඒ හොඳම දරුවන්. මං හිතන්නේ හොඳම ළමයි 120 ක් විතර කින් ඕගල්ලෝ 20 දෙනෙක් අපි තෝරා ගත්තා. ඒ කියන්නනේ ඔයාලා සුවිශේෂී කටටියක්. දක්ෂයින්ගෙත් දක්ෂයෝ” යැයිද සඳහන් කර සිටියේය.

තෝරා ගනු ලැබූ ක්‍රීඩිකාවන් ඉදිරි මාස 3 ක කාලයේදී දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබා ඉදිරියේදී පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් සහ පළාත් තරගාවලි සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත. එම තරග 2022 වසරේ මාර්තු සහ අප්‍රේල් යන මාස වලදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවෙයි.

අදාළ කොන්ත්‍රාත් පිරිනැමීම මෙම නොවැම්බර් මස 01 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා වූ කාල සීමාව සඳහා පමණක් වලංගු වන අතර ඊට පසු පැවැත්වෙන දක්ෂතා තක්සේරුවකින් අනතුරුව ඉදිරි එම ක්‍රීඩිකාවන්ගේ කොන්ත්‍රාත් දීර්ඝ කිරීම පිළිබඳව තීරණය කෙරෙනු ඇත.

“මේ කණ්ඩායමට එකතු වෙලා ඉන්න ක්‍රීඩිකාවන් 20 දෙනාව අරගෙන බැලුවහම මට පේනවා මේකෙ ලොකු විසිරීයෑමක්. නුවරඑළියෙන්, ගාල්ලෙන්, පොලොන්නරුවෙන්, කෑගල්ලෙන්, ත්‍රිකුණාමලයෙන් ළමයි ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැටියට අපේ ආයතනයේ මූලික පරමාර්ථයක් තමයි මේ රටේ ඉන්න යම් දක්ෂ ළමයෙකුට ඉදිරියට එන්නට අපි අත්වැළක් සැපයීම. එහෙම නැත්නම් ඔවුන් ඉදිරියට රැගෙන එන්න මාවතක් සැකසීම. ඔයාල දැන් ඒ තැනට ඇවිල්ලා ඉන්නවා. මෙතනින් එහාට යන එක සම්පූරණයෙන්ම තියෙන්න ඔයාලගේ අතේ. ඒ අවස්ථාව ප්‍රයෝජනය ගන්න. අපිට ඕන ලංකාව වෙනුවෙන් ඕගොල්ලොන්ගෙන් කීප දෙනෙක් ඉදිරි අවුරුදු 3 ක් ඇතුළච ක්‍රීඩා කරවන්න.”

අදාළ කොන්ත්‍රාත් පිළිගැන්වීමේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී අප්සාරි තිලකරත්න මහත්මිය,

“ප්‍රදේශ කීපයකට සීමා වෙමින් තිබූ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව අද ඉන් එහාට පැතිරිලා තියෙනවා. අප ආයතනය ක්‍රිකට් ගමට ගෙන ගියා. මේ තෝරාගත් කණ්ඩායමේ අද දිවයිනේ විවිධ ප්‍රදේශවල නියෝජනයක් සිටිනවා. ඒක අපි ලබාගත්ත විශාල ජයග්‍රහණයක් වගේම සතුටට කාරණාවක්” යනුවෙනි.

කොන්ත්‍රාත් හිමි ක්‍රීඩිකාවන් මෙසේය.

රන්දි ප්‍රේමරත්න – ශාන්ත ජෝශප් – කෑගල්ල
සංසලා වනිගසේකර – නුගවෙල මැදි මහ – මහනුවර
තරුෂි රාජකරුණා – නුගවෙල මැදි මහ – මහනුවර
පී.ඩී,එස්.එච්. මහේෂිකා – ශාන්ත ජෝශප් – කෑගල්ල
ඩබ්. පී. නිමේෂා තරුමිණි – මාරපොල මහ විදුහල – කෑගල්ල
නවෝද්‍යා නෙත්මිනි – වාද්දුව මැදි මහ – කලුතර
ඉමෝක්ෂා බාෂිනී – වාද්දුව මැදි මහ – කලුතර
සාවින්දි නිමල්ෂා කුරේ – වාද්දුව මැදි මහ – කලුතර
මනෝහාරි නිසංසලා – වාද්දුව මැදි මහ – කලුතර
සුලේෂා සත්සරණි – දේවපතිරාජ – ගාල්ල
චේතනා විමුක්ති – පැල්වත්ත මහ ව- මොනරාගල
අයේෂා දිලක්ෂිණී – මාස්පන්න මහ විදුහල – බදුල්ල
ලංකා තිලිණි – සිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය
ශානු බාස්කරන් – මහජන විදුහල – යාපනය
ජනනි වීරකෝන් – රාජකීය විදුහල – පොලොන්නරුව
තරුෂි සත්සරණි – පොරමඩුල්ල මැදි මහ – නුවරඑළිය
එරංගා දිසානායක – කටුපොත තිස්ස මැදි මහ – කුරුණෑගල
මතුරිකා මුරලිතාසන් – ස්කැන්ත්වරෝදයා විදුහල – යාපනය
දුලංගා දිසානායක – අනුලා විදුහල – කොළඹ
මෙත්මා හෙට්ටිආරච්චි – අනුලා විදුහල – කොළඹ

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7