EXCLUSIVETrending Article

“වැරදි කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දායාද වූ නිහඬ දඩයම් කරුවා” – දිල්රුවන් පෙරේරාගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් අප තබන සටහන.!

පානදුර ක්‍රිකට් සමාජය නියෝජයනය කරමින් ශ්‍රී ලංකා පළමුපෙල පිටියට දිල්රුවන් පිවිසින්නේ 2000 වසරේදීය.2007 වසරේදී ජාත්‍යන්තර එක්දින වරම් දිනාගන්නා දිල්රුවන් ශ්‍රී ලංකාව බිහිකල 133 වන එක්දින ක්‍රීඩකයා බවට පත් විය.

2007 ඔක්‌තෝබර් 13 වැනිදා එංගලන්තයට එරෙහිව කොළඹදී සිය මංගල එක්‌දින තරගය ක්‍රීඩා කල ඔහු ලකුණු 30ක් රැස් කළේය.

සීමිත පන්දුවාර ආකෘතිය තුල එතරම් කැපී පෙණෙන ක්‍රීඩකයෙකු නොවූ දිල්රුවන් ක්‍රීඩා කලේ එක්දින තරඟ 13 කට හා විස්සයි විස්ස තරඟ 3 කට පමණි.

එක්දින තරඟ තුලදී ලකුණු 153 ක් හා කඩුලු 13 ක් තමාගේ නම ඉදිරියේ ලියාගත් ඔහුගේ නම ඉදිරියේ විස්සයි විස්ස කඩුලු තුනක්ද ලියැවී තිබේ.

නමුත් ඉන් වසර 7 ක් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගන්නට බලාසින්නට දිල්රුවන්ට සිදුවිය, මන්ද කලක් මුත්තයියා මුරලිදරන්ගෙන්ද ඉන්අන්තුරුව අජන්ත මෙන්ඩිස්ගෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පිට දඟපන්දු යවන්නාගේ භූමිකාව පිරී ගොස් තිබුණු නිසා වෙනි.

සිය මංගල එක්දින ජාත්‍යන්තර තරඟයට වයස අවුරුදු 23 දී ක්‍රීඩා කල දිල්රුවන් හට තමාගේ තරඟ ආකෘතිය වූ ටෙස්ට් තරඟ සඳහා වරම් දිනාගැනීමට තවත් වසර 7 ක් බලා සිටින්නට දිල්රුවන් හට සිදුවිය.

වයස අවුරුදු 30 වන විට 2014 ජනවාරි 16 වැනිදා ඔහු පාකිස්තානයට එරෙහිව සාජාහිදී සිය ටෙස්ට් වරම් දිනාගත්තේය.ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 126 වන ක්‍රීඩකයා වෙමිනි. සිය මංගල තරඟය ස්වර්ණමය තරඟයක් බවට පත් කරගත් දිල්රුවන් අංක 8 ස්ථානයේ පන්දුවට පහර දීමට පැමිණ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 95 ක් රැස් කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ද විය.

සාර්ථක ලෙස පන්දු යැවීමේ නිරත වෙමින් කඩුලු 5 ක එක් අවස්ථාවක්ද සමඟින් එම තරඟාවලිය දිල්රුවන් නිමාකලේය.

නමුත් තවත් වසරක් සංචිතයෙන් ඉවතට විසිවී සිටින්නට ඔහුට සිදුවිය.කේසේ නමුත් 2015 ඔක්තෝම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති ටෙස්ට් තරඟාවලියට ඇතුළත් කරන ලද සංචිතයේ ඉඩ දිල්රුවන් හට ද වෙන් විය.

පී සරා ඕවල්හි දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ඔහුට පිත්තෙන් දස්කම් දැක්වීමට නොහැකි වූ නමුත් තරගයේ තීරණාත්මක කාල අන්තරවලදී කඩුලු 4ක් දවා ගැනීමට ඔහු සමත් විය.

අවසානයේ තරගය ලකුණු 72කින් ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය තරඟ 2-0ක් ලෙස ජය ගත්තේය.

දිල්රුවන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂය වූ 2016 වසරේ පැවැති වෝන්-මුරලිදරන් කුසලානයට ඇතුළත් වූයේ රංගන හේරත් සමඟ ඉදිරිපෙළ දඟපන්දු යවන්නකු ලෙසිනි.

ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු 70 ට කඩුලු 6 ක් බිඳ දමමින් සමස්ත තරගයේම ලකුණු 99කට කඩුලු දහයක් දවා ගැනීමට සමත් විය. ඔහු දෙවැනි ඉනිමේදී පිත්තෙන් ලකුණු 64 ලබා ගත් අතර, එක ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් සහ කඩුලු දහයක් දවාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය.

ශ්‍රී ලංකාව එම තරගය ලකුණු 229කින් ජයගත් අතර වෝන්-මුරලි කුසලානයද දිනා ගත්තේය.ඒ එවකට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ සිටි ඔස්ට්‍රේලියාවට තරඟ 3-0 ක් ලෙස ඓතිහාසික පරාජයක් අත්කර දෙමිනි.

පන්දු යැවීමේ වි හේරත් සමඟින් එක්වූ දිල්රුවන් තරඟ තුනේදීම ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව විනාශ කළේය. සමස්ත තරගාවලියේම ඔහු කඩුලු 15ක් ද හේරත් කඩුලු 28ක් ද දවා ගත්හ.

2017 ඔක්‌තෝබර් 10 වැනිදා පාකිස්තානයට එරෙහිව ඩුබායිහිදී පැවැති දිවාරාත්‍රී ටෙස්ට් තරඟයේදී සිය පස්‌වැනි කඩුලු 5 දවා ගැනීම ඔහු වාර්ථා කලේය.

දෙවැනි ඉනිමේදී ලකුණු 98කට කඩුලු 5ක් දවාගත් ඔහුගේ පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගය ලකුණු 68කින් ජය ගැනීමට හැකි වූ අතර ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙසට ජය ගැනීමට සමත් විය.

එහිදී දිවා-රාත්‍රී ටෙස්ට් කඩුලු 5ක් දවාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පෙරේරා පත් විය.

ඉන්දියාවට එරෙහි පැවැති තුන්වන ටෙස්ට් තරඟයේදී ඔහු සිය 100 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත්තේ ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් ධවාන් දවාලීමෙනි. මෙම සන්ධිස්ථානයට පැමිණීමට ඔහු වැය කලේ තරග 25ක් පමණි.ටෙස්ට් කඩුලු 100ක් දවාගත් වේගවත්ම පන්දු යවන්නාද වනුයේ දිල්රුවන් පෙරේරාය.

2018 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලකුණු 78කට කඩුලු 10ක් දවාගනිමින් තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීය.

එහිදී දිල්රුවන්ගේ විශිෂ්ඨ පන්දුයැවීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 73ක් පමණි. අවසානයේ දී ශ්‍රී ලංකාව ලකුණු 278 කින් එම තරඟය ජයග්‍රහණය කළේය.

වැරදි කාලයක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ විශිෂ්ඨ පන්දු යවන්නෙකුගේ කෙටි කාලීන විශිෂ්ඨ පරිච්ඡේදය එසේ නිමා වුයේ පසු ගිය දා සියලුම ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් පසුගිය දා ප්‍රකාශයට පත් කිරීමත් සමගය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7